advanced divider
  • ලිපිනයපළාත් ආයුර්වේද රෝහල, අනුරාධපුර.
  • දුරකථන අංකය+9425 22 231 36
advanced divider
  • දැක්මශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම දේශීය වෛද්‍ය සේවා සපයන ප්‍රමුඛතම ආයූර්වේද හරිත රෝහල
  • මෙහෙවරහරිත සංකල්ප වලට අනුකූලව ආයූර්වේදී හා දේශීය වෛද්‍ය ක්‍රම භාවිතා කරමින් ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය හා රෝග නිවාරණය කිරීම මෙන්ම ආයූර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා ජනතා දායකත්වය ලබා ගැනීම හා ඒ සඳහා ප්‍රාදේශීය වශයෙන් ජාතික වශයෙන් හා අන්තර් ජාතික වශයෙන් දායක වන ආයතන සමග සහයෝගීව කටයුතු කිරීම.
advanced divider

ආයතනයේ ඉතිහාසය හා විකාශනය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවර කළාවිය කේන්ද්‍රකොට ගෙන උතුරුමැද පළාතේ ප්‍රධානතම ආයුර්වේද රෝහල අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලයි. ප්‍රදේශයේ ජනතාව තුළ කලක සිට පැවති බලාපොරොත්තුවක් සඵල කරමින් එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරය හෙබවූ දිවංගත ගරු එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක ශ්‍රී මතානන් විසින් 1956 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වන දින අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලට මුල්ගල තබන ලදි. ඉන් අනතුරුව 1964 වර්ෂයේ පෙබරවාරි මස 22 වන දින එවකට ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යධූරය දරණ ලද ගරු සිරිමාවෝ බංඩාරනායක මැතිණිය විසින් නේවාසික පහසුකම් සහිත රෝහලක් ලෙස අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල ජනතා අයිතියට පත්කරන ලදි. මෙම රෝහල නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල නගරයේ මර්මස්ථානය ලෙස සැලකිය හැකි ප්‍රධාන රජයේ ආයතන රැසක් මධ්‍යයේ පිහිටා තිබීමත්, ප්‍රවාහන පහසුකම් අතින් වැදගත් ස්ථානයකත් පිහිටා තිබීමත් සුවිශේෂී වේ.

දැනට ප්‍රධාන බටහිර රෝහලත් ප්‍රධාන ආයුර්වේද රෝහලත් එකිනෙකට යාබදව පිහිටා ඇති ලංකාවේ එකම ස්ථානය ද, මෙයවේ. මෙහි ප්‍රථම වෛද්‍ය අධිකාරීවරයා ලෙස වෛද්‍ය නානායක්කාර මහතා පත්ව ඇත. රෝහල ආරම්භයේ සිටම විශාල රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර කටයුතු සඳහා මෙම රෝහල වෙත ඇදී ආ බවත්,මෙහි ප්‍රතිකාර සේවාව ඉතා ඉහල මට්ටමක පැවති බවත් පැරණි නගරවාසීහු ගෞරවයෙන් යුතුව සිහිපත්කරයි. එමෙන්ම වරින්වර රෝහලේ පරිපාලනය භාරව සිටි වෛද්‍ය අධිකාරි වරුන් රෝහලේ සේවාව දියුණු කිරීම සඳහා බලවත් වෙහෙසක් දැරූ බවත්, අවම පහසුකම් යටතේ දැඩි කැපවීමකින් යුතුව රෝගී ප්‍රතිකාර කටයුතුවල නියැලුනු බවත් කෘතවේදීව සඳහන් කළ යුතුය.

එවකට රෝහල් කාර්ය මණ්ඩලය තුළ වෛද්‍ය අධිකාරි,වෛද්‍ය කාර්ය මණ්ඩලය,හෙඳි පාලිකා ඇතුළු හෙද කාර්ය මණ්ඩලය,සුළු සේවා පාලක ප්‍රමුඛ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය,අතුරු කාර්ය මණ්ඩලය ආදී වශයෙන් ප්‍රධාන රෝහලක සිටිය යුතු සියළු කාර්ය මණ්ඩල දක්නට ලැබුණි. එකළ ආයුර්වේද ක්ෂේත්‍රය වෙත එල්ල වූ විවිධ අභියෝග හා බාධක හමුවේ නොසැලී හිදිමින් රෝගීන් සුවපත් කිරීම යන පරමාර්ථය පමණක් පෙරදැරිව ගුණාත්මක සේවාවක් ලබාදීමට සමස්ත කාර්ය මණ්ඩලය කැපවුණි.

මෙහි තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධන ප්‍රකාර පළාත් සභා බලතල පිහිටුවීමත් සමඟය. 1987 වර්ෂයේ සිට පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවක් බිහිවූ අතර, එහි ප්‍රධානියා ලෙස පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා පත්විය. ඒ් යටතේ මෙම රෝහල පළාත් ආයුර්වේද රෝහලක් වශයෙන්, නියාමන හා සංවර්ධන කටයුතු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට කටයුතු සැලසිණි. මෙතෙක් දුරස්ථව පැවති පරිපාලන ක්‍රමයෙන් සීමා පුළුල් කොට පළාත් ආයුර්වේද කොමසාරිස් වරයකුගේ සමීප අධීක්ෂණය හා උපදෙස් යටතේ රෝහල් සේවාවේ දියුණුවට පියවර රැසක් ගැනීමට එමගින් හැකිවිය. මේ අනුව ප්‍රථම පළාත් ආයුර්වේද කොමසාරිස් ලෙස වෛද්‍ය ඩබ්.පියදාස මහතා පත්වූ අතර, ඉන්පසුව එම තනතුර දැරූ වෛද්‍ය පී. බලල්ල මහතා, වෛද්‍ය චන්ද්‍රසේන මහතා, වෛද්‍ය ජී.ඩබ්.ජේ. සේනාරත්න මහතා, වෛද්‍ය අශෝකා කීර්තිලතා මිය, නීල් ද අල්විස් මහතා, වෛද්‍ය කුමාර අල්විස් මහතා,  වෛද්‍ය සුපිපි සංඝමිත්තා මහත්මිය, වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතා වර්තමාන පළාත් ආයුර්වේද කොමසාරිස් ප්‍රියානි මල්කාන්ති ගොඩගේ මහත්මිය යන මහත්ම මහත්මීන් අනුරාධපුර ආයුර්වේද රෝහලේ ප්‍රගතියට වරින් වර දායක විය.

එසේම මෙම රෝහලේ දියුණුව වෙනුවෙන් හිටපු රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය කුමාරි කුමාරසේකර මහත්මිය සිදුකල කැපකිරීම් හා ඉටුකල සේවය අතිමහත්ය. 

2006 මාර්තු මස 4 වන දින ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමන්ගේ සුරතින් විවෘත වූ බාහිරාංශ දෙමහල් ගොඩනැගිල්ල, බාහිර රෝගී පරික්ෂා කිරීමේ අංශය, සායනික අංශය, ශ්‍රවනාගාරය, රසායනාගාරය, රෝහල් කාර්යාලය හා අධයක්ෂක අංශයකින් සමන්විත විය.

මේ වන විට දිනකට රෝගීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙන අතර, දෛනිකව සායන 15 කින් සමන්විත විශේෂ ප්‍රතිකාර සිදුකරනු ලබයි. සතියේ සෑම දිනකම හා විශේෂ නිවාඩු දිනවල බාහිරාංශය රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලබයි.

බාහිරාංශය තුළ පැවැත්වෙන සායන අතර, අක්ෂි සායනය, පංචකර්ම සායනය, පෝෂණ උපදේශන සායනය, රූපලාවන්‍ය සායනය, කැඩුම් බිදුම් සායනය, ශල්‍ය සායනය, චර්ම රෝග සායනය, අම්ලපිත්ත රෝග සායනය, වකුගඩු සායනය, බෝ නොවන රෝග සායනය, පිළිකා රෝග, ළමා රෝග, ශ්වසන රෝග, සන්ධි රෝග, ස්ත්‍රී රෝග චීනකටු හා ප්‍රාථමික ප්‍රතිකාර සම්බන්ධයෙන් ද, සමන්විතය.  මෙම සායන සමහරක් සතියේ දින 03 ක් පවත්වනු ලබන අතර, සමහරක් සතියකට එක් වරක් පැවැත්වේ.  මෙම සායන සඳහා විශාල රෝගීන් සංඛ්‍යාවක් සහභාගි වන අතර, රාජකාරී වේලාවෙන් බැහැරව වෛද්‍යවරුන් රෝගීන් වෙනුවෙන් විශාල කැපවීමක් කරමින් නොමිලේ සේවය ලබාදී ඇත.  ඇඳන් 116 කින් සමන්විත නේවාසික අංශය ගැහැණු වාට්ටු දෙකකින් හා පිරිමි වාට්ටු දෙකකින් හා ගෙවන කාමර වායුසමනය කරන ලද හා වායු සමනය නොකරන ලද කාමර 16 කින් සමන්විතය.  රෝගීන්ගේ පහසුව සඳහා ස්ථාපිත කර ඇති පංචකර්ම අංශයේ හා සම්බාහන අංශයකින්ද සමන්විතය. 

රෝහලේ ඖෂධ නිෂ්පාදනාගාරය නිපදවන ඖෂධ, රෝහලේ අවශ්‍යතාවයෙන් 2/3 කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර ගැනීමට දායක වේ.  රෝහලේ නිෂ්පාදන ධාරිතාවය විශාල වශයෙන් වැඩිකර ඇති නිසා නිෂ්පාදිත ඖෂධ මිලදී ගැනීමට වැය වන පිරිවැය අඩුකර ගැනීමට හැකි වී ඇත.  රෝහලේ ඖෂධ නිෂ්පාදනය සඳහා ඔසු උයන් තවත් වැඩිදියුණු කරගනිමින් නිෂ්පාදනයට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට ඔසු උයන් ස්ථාපිත කරමින් පවතී.  එසේම, ආයුර්වේද අධ්‍යාපන වැඩසටහන් සඳහා උපයෝගී කරගත හැකි ශාඛාගාරයක් සහ රෝගීන්ගේ පහසුව සඳහා ඇවිදින මං තීරුවක් ද, නිර්මාණය කර ඇත. 

ඖෂධ නිෂ්පාදනාගාරය ආශ්‍රිතව ජීව වායු ඒකකයක් ද, ස්ථාපිත කිරීමෙන් නිෂ්පාදනාගාරයට ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා ජීව වායු ද යොදා ගනී. 

අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේද 2015, 2018 යන වර්ෂ වල තෙවන ස්ථානය ද, 2020 වර්ෂයේ දෙවන ස්ථානය ද, දිනාගනිමින් ජනප්‍රිය වූ ජනාදරයට පත්ව ඇති රෝහලකි. 

advanced divider

වෛද්‍ය ඒ. එච්. එස්. ගුණවර්ධන මිය

රෝහල් අධ්‍යක්ෂිකා (වැඩ බලන)

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

රෝහල් අධ්‍යක්ෂ

13

වෛද්‍ය නිලධාරීන්

3

ප්‍ර.සෞ.වෛද්‍ය නිලධාරීන් (නැනුප ප්‍රා.ලේ.කො.)

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
5

හෙද නිලධාරී

1

රසායනාගාර කාර්මික විද්‍යාඥ

2

භෛසජ්ජක

3

කළමනාකරණ සේවා නිලධාරී

1

සම්භාහනකරු

1

සුළු සේවා පාලක

8

උපස්ථායක

8

උපස්ථායිකා

5

ඖෂධ සංයෝජක

3

ටිකට් ලිපිකරු

2

බෙහෙත් ශාලා කම්කරු

1

වාට්ටු ලිපිකරු

16

කම්කරු

4

මුරකරු

2

සනීපාරක්ෂක කම්කරු

4

වාට්ටු සංඛ්‍යාව

100

ඇඳන් සංඛ්‍යාව

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
සායනය
සඳුදා
බෝ නොවන රෝග / අක්ෂි රෝග / පංචකර්ම සායන / ශල්‍ය / කැඩුම් බිඳුම්
අඟහරුවාදා
පංචකර්ම / චීන කටු / චර්ම රෝග සායන / ශල්‍ය / කැඩුම් බිඳුම්
බදාදා
මානසික රෝග / ශල්‍ය / පංචකර්ම / ළමා රෝග / අම්ල පිත්ත / වකුගඩු රෝග සායන / කැඩුම් බිඳුම් / සන්ධි රෝග
බ්‍රහස්පතින්දා
පංචකර්ම / කැඩුම් බිඳුම් / චීන කටු / කාන්තා රෝග සායන / ශල්‍ය / කැඩුම් බිඳුම්
සිකුරාදා
මද සරු / රූපලාවන්‍ය හා ශ්වසන රෝග / පංච කර්ම සායන / ශල්‍ය / කැඩුම් බිඳුම්
සෙනසුරාදා
යෝග හා සංයම / පංච කර්ම සායන / සන්ධි රෝග / ශල්‍ය / කැඩුම් බිඳුම්
advanced divider

ගෙවන වාට්ටු සංකීර්ණය

අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලේ ඉහල මහලයේ මෙම ගෙවන කාමර සංකීර්ණය පිහිටා ඇති අතර තම නිවසේ සිටම ප්‍රතිකාර ලබන ආකාරයට සියළු සනීපාරක්ෂක පහසුකම් වලින් යුත් ස්වාධීන කාමර 16 කින් සමන්විත වේ. මෙය වායුසමීකරණය කළ කාමර 08 ක් හා වායුසමීකරණය නොකළ කාමර 08ක් බැගින් වේ.

මේ සඳහා ඇතුලත් වන රෝගියෙකු පළාත් ආයුර්වේද රෝහලට පැමිණ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ (OPD) තුන්ඩු නිකුත් කරන ස්ථානයෙන් විමසිය යුතුයි. මෙහිදී රෝගියා සමග එක් භාරකරුවෙකුට නැවතී ප්‍රතිකාර ගැනීමට දෛනිකව මුදලක් අයකිරීම සිදුකරනු ලබයි. රෝගියාට පමණක් ආහාර සැපයීම සිදුකරන අතර භාරකරුටද ආහාර අවශ්‍යනම් දෛනිකව අමතර මුදලක් ගෙවිය යුතුය. කෙසේ වුවද මෙහිදී සෑම රෝගියෙකුම මුල් අවස්ථාවේදීම අවම වශයෙන් දින 3කට වරක් මුදල් ගෙවීම සිදු කල යුතුය.

මෙම ගෙවන කාමර සංකීර්ණය ස්ත්‍රී හා පුරුෂ ලෙස වෙන් කිරීමක් සිදුකර නොමැති අතර රෝගියා සඳහා වෛද්‍යවරයකු විසින් අවශ්‍යතාව මත නිර්දේශ කරයි නම්, රෝගියාට තම පවුලේ ඕනෑම සාමාජිකයෙකු භාරකරු ලෙස නවතාගත හැක. එමෙන්ම මෙම රෝගීන් සඳහා එක් වෛද්‍යවරයකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කරනු සිදු කරනු ලැබේ.

මෙම ගෙවන කාමර සංකීර්ණය පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍යනම් 025-2223136, 025-2225397 හා 025-2225398 යන දුරකථන අංක වලට අමතා ලබාගත හැක.

1

ගෙවන වාට්ටු සංඛ්‍යාව

16

ඇඳන් සංඛ්‍යාව