ගුණ හා අරුත දැන ක්‍රියාවේ යොදවමු.

හිස තෙල් ගෑමේ වැදගත්කම

මධ්‍යම පළාත් ආයුර්වෙිද දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත “මැදරට ආසිරි” ත්‍රෛයි මාසික සගරාවේ තෙලස්වන වෙළුම, 2022  කලාපයේ පළකරන ලද ලිපියකි.

හිස තෙල් ගෑම හෙල සිංහල අවුරුදු චාරිත්‍රයකි. සාපේක්ෂ චලිතයෙන් සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෝ නැකැත් චක්‍රය සලකා බැලූ විට, රේවති නැකතින් අස්විද නැකතට ගමන් ගන්නා කාල සීමාව සිංහල අවුරුදු චාරිත්‍ර වල නොනගතය ලෙසින් හඳුන්වයි. කෘෂි ආර්ථිකයක් හිමි ශ්‍රී ලාංකික සමාජයේ තාවකාලිකව සියලු වැඩ නවතා අලුත් ආරම්භයක් ලබා ගැනීම නොනගතයෙන් පසුව සිදුවන සිංහල අවුරුදු උදාවෙන් සංකේතවත් කරයි. පරිසරයම අලුත් වෙමින් පවතින මොහොතක මනුෂ්‍ය ශරීරයේ උත්තමාංගය වු හිසට සිදු කරන සත්කාරයක් සංකේතවත් කරමින් නැකතට හිස තෙල් ගෑම හෙල සිංහල අවුරුදු චාරිත්‍ර වල වැදගත් චාරිත්‍රාංගයක් වශයෙන් එක කර ඇත.

ආයූර්වේද මතානූකූලව හිස කෙස් යනු, අස්ථි ධාතුවේම උප ධාතුවක් ලෙසින් සැලකේ. එබැවින්, මනා කෙස් කළඹක පැවැත්ම සදහා නීරෝගී අස්ථි පද්ධතියක් පැවැතීම ඉතාම වැදගත්ය.

හිස කෙස් වලට මනා පෝෂණයක් අඛණ්ඩව ලැබේ නම්, හිස කෙස් ගසට වසර 3-5 ක් පමණ ජීවිත කාලයක් පවත්වා ගෙන යා හැකිය. එම කාලය නිම වූ පසුව කෙස් ගස ගැල වී යන අතර, නැවත එම ස්ථානයෙන් අලුතින් කෙස් ගසක වැඩීම සිදු වේ. මෙය චක්‍රාකාරීව අපේ ජීවිත කාලය පුරාවටම සිදු වන දෙයකි.නමුත් ගැලවී යන හිස කෙස් ප්‍රමාණයට සරිලන පරිදි අලුතින් හිස කෙස් හට ගැනීම සිදු නොවන්නේ නම්, එය අකලට හිස කෙස් ගැලවීම ලෙසන් හැඳින්වේ.

හිස කෙස් ගැලවීම බහුලව දක්නට ලැබෙන තත්වයක් වන අතර, ශරීර අභ්‍යාන්තර හේතූ මෙන්ම, බාහිරින් හිස් කබලේ නීරෝගීතාවය සදහා බලපාන හේතුන් ද මීට සෘජුවම දායක වේ.

සාමාන්‍යයෙන් හිසක, හිස කෙස් ලක්ෂ 01 ක් 01 ½ ක් පමණ පවතී. මින් දිනකට හිස කෙස් 01-100 දක්වා ගැලවී යෑම ස්වභාවිකය. නමුත්, විවිධ හේතූන් මත මෙම ප්‍රමාණය ද ඉක්මවා යන පරිදි හිස කෙස් ගැලවී යෑම ප්‍රතිකාර ලැබිය යුතු තත්වයකි.

ලංකාව සමකයට ආසන්නයේ පිහිටා ඇති ඝර්ම කලාපීය රටක් නිසා සමට හා හිස කෙස් වලට සූර්ය රශ්මියෙන් ඇති වන බල පෑම වැඩිය. අධික හිරු රශ්මියට ලක් වීම නිසා හිස් කබලේ ඇති සම වියළි, දුර්වල වූ විට කේෂ මූලයන්ට හානී සිදු වීම සිදු වේ. එමෙන්ම, නිතර උණු වතුර හෝ අධික ශීත ජලය ස්නානය හා රාත්‍රී කාලයේදී ජල ස්නානය කිරීම මගින් ද හිස් කබලේ සම දුර්වල වේ.

සෑම හිස කෙස් ගසක්ම තෙල් ස්‍රාවය කරන ස්නේහ ස්‍රාවී ග්‍රන්ථියක් හා සම්බන්ධව නිර්මාණය වී ඇත. මෙම ග්‍රන්ථියෙන් නිපදවන තෙල් කොටස් මගින් හිස කෙස් වලට ලිහිසි ස්වභාවයක් ලැබේ. එසේම සෑම හිස කෙස් මූලයකටම, ඉතා හොද රුධිර සැපයුමක් පවතින අතර, කේෂ මූලය පෝෂණය වන්නේ මෙමඟිනි.

වර්ථමානයේදී හිස කෙස් අලංකරණය සඳහා “හෙයාර් ජෙල්” වර්ග, “හෙයාර් ක්‍රීම්” වර්ග භාවිතා කිරීම වැඩි වී ඇත. එසේම, හිස කෙස් “ඩයි” කිරීම ද සුලභව සිදු කෙරේ. මේවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය මගින් හිසේ සමේ ඇති ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි වලට හානි සිදු කරන අතර, එමගින් හිස් කබලේ වියළි ස්වභාවයක් ඇති වේ. හිස් කබලේ සමේ අපිචර්මය අධිකව වියළි ගොස් දුර්වල වූ විට හිස් හොරි තත්වය පවා ඇති විය හැකි අතර, හිස කෙස් ගැලවීමටත්, පැසීමටත් සෘජුවම බලපෑම් සිදු කරයි.

අස්ථි ධාතුවේ නීරෝගී පැවැත්ම සදහා බලපාන පෝෂණ කොටස්ම, නීරෝගී කේශ වර්ධනය සදහා ද බලපෑම් කරයි. කෙස් වල මනා වර්ධනයට ප්‍රෝටීන අඩංගු ආහාරත්, කැල්සියම්, යකඩ, විටමින් C , විටමින් E, සින්ක්, විටමින් B2, B6, B7 වැනි ක්ෂුද්‍ර පෝෂක ද සහිත ආහාර නිරතුරුවම ලබා ගැනීම ඉතා වැදගත්ය. සමබර ආහාර වේලකින් තොරව, කෘත්‍රීම ආහාර පාන සහිත ජීවන රටාවක් නිසාද හිස කෙස් දුර්වල වීම සිදු වේ.

හිස කෙස් ගසක කේෂ මූලය දිගින් 0.24 mm පමණ වන ඉතා සියුම් කොටසකි. කේශ මූලයේ පහතින් ඇති කොටස ඉදිමී බල්බයක් වැනි ව්‍යුහයක් ඝණ වීම මගින් කේශ වර්ධනය සිදු වේ. කේශ මූලයන්ට හොද රුධිර සැපයුමක් ඇති අතර, නිසි ලෙස රුධිර සම්පාදනයක් නොලැබීම මගින් කෙස් මුල් දුර්වල වී, අකලට කෙස් පැලී යෑම සිදු වේ.

 

advanced divider

ඖෂධීය ගුණයන්ගෙන් අනූන, ශරීර ප්‍රකෘතියට අනුකූල හා හිසට හිතකර විවිධ තෙල් වර්ග ආයූර්වේද දැනුම් පද්ධතිය තුල ඇති අතර, සුදුසු තෙල් වර්ගයක් දිනපතා හිස ගැල්වීමට හුරු වීමෙන් මනා කෙස් කළඹක් ඔබටත් ලබා ගත හැක.

කේශ මූලයේ ශක්තිමත් බව වර්ධනය කිරීමට කෙස් කබලේ ඖෂධීය ආලේපන වර්ග සතියකට වතාවක් හෝ දෙවතාවක් ආලේප කිරීම කළ යුතුය. හිසකෙස් පැලීම වළක්වා කේශ මූලයන් ශක්තිමත් කරන ආලේපන වර්ග කීපයක් පහත දැක්වේ.

1.  කහ, වෙනිවැල් ගැට කුඩු, ගිතෙලින් අඹරා හිස් කබලේ ආලේප කර පැයකට පමණ පසු ඇල්දියෙන් සෝදා දැමීම.

2. නෙල්ලි, කලු තල ඇට, නෙලුම් රේණූ, වැල් මී, මී පැණියෙන් අඹරා හිසේ ගෑමද විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දෙන ප්‍රතිකාරයකි.

සාමාන්‍යයෙන් කෙස් ගසක වර්ධනය සිදු වන්නේ ඉතා සෙමිනි. කෙස් ගසක් නීරෝගී නම් දිනකට 0.3 mm පමණ ද, මසකට 1 cm පමණද වර්ධනය වේ. කෙස් ගසේ වර්ධන වේගය ස්වභාවයෙන්ම අඩු බව වටහා ගැනීම හිස කෙස් සඳහා ප්‍රතිකාර කිරීමේදී වැදගත් වේ.

ප්‍රතිඵලදායක ප්‍රගතියක් ලබා ගැනීමට හිස කෙස් සදහා ප්‍රතිකාර අඛණ්ඩව මාස 03 – 06 අතර කාලයක්වත් සිදු කළ යුතුය.

හිස කෙස් හැලී යාමට හේතු වන විවිධ කෘතීම ආලේපන වර්ග හිස් කබලේ මතු පිට ආලේප කිරීම සීමා කළ යුතු අතරම, හිස පිරිසිදු කිරීම සඳහා ස්වභාවික ආලේපන වර්ග භාවිතා කිරීමට හුරු වීම ද, මනා කෙස් කළඹක පැවැත්මට හිතකර පුරුද්දකි.

හිස් කබලේ ඖෂධීය ආලේපන වර්ග යෙදීම මගින් කේෂ මූල ශක්තිමත් වන අතර හිස් කබලේ තෛල ආලේපනය හා නිවැරදිව සිදු කරන ශීර්ෂ සම්භාහනය මගින් කේෂ මූලයන්ට හොඳ රුධිර සැපයුමක් ලැබෙන අතරම, ස්නායූ උත්තේජනය වීමක් ද සිදුවේ. මෙහිදී ත්‍රිපලා තෛලය, භෘංගාමාලක තෛලය, මයුරමාණික්‍ය තෛලය, කුමාරී තෛලය වැනි වටිනා ආයූර්‌වේදීය තෛල වර්ග හිසේ ආලේපනය සඳහා භාවිතා කළ හැකිය.

මෙවන් ස්වභාවික ආලේපන වර්ග යෙදීමෙන් කේශ මූලයන් ශක්තිමත් වන අතරම, හිසේ දෛනිකව පෙර කී  ඖෂධීය තෙලක් ගල්වා නිවැරදිව කරන ශීර්ෂ සම්භාහනයකින් හිස් කබල සිසිල් කර, මනා රුධිර සැපයුමක් හිසට ලැබී, දිදුලන කෙස් කළඹකට හිමිකම් කීමට ඔබට ද හැකිය.

තවද, සංකීර්ණ සමාජ පරිසරයත් සමග ගොඩ නැගෙන මානසික ආතතිය ද, හිස කෙස් අකලට ගැලවී යෑම සඳහා බලපාන සෘජු කරුණක් වී තිබේ. එබැවින් ඉහත ක්‍රියා පිළිවෙත් නොකඩවා සිදු කිරීමත් සමඟ, පෞද්ගලිකවම මානසික සංහිඳියාවක් ඇති කර ගැනීම ද අකලට හිස කෙස් ගැලවීම වළක්වා ගෙන, සුන්දර කෙස් කළඹක් දායාද කර ගැනීමට හේතුවක්  වනවා ඇත.

කෘතීම, වීදාහී, තීක්ෂණ ආහාර වේලකින් මිදී, සමබල ආහාර රටාවකට හුරු වීමත්, හොඳින් ජලය පානය කිරීම මගිනුත් මනා කෙස් කළඹක් පවත්වා ගෙන යාමට අවශ්‍ය අභ්‍යන්තර පෝෂණය ලබා ගත හැකිය.

advanced divider

හිස කෙස් පිරිසිදු කිරීමට,

1.  දෙහි, උළුහාල් තම්බා, මිරිකා ගෙන, හිස් කබලේ ආලේප කර , හිස සෝදා දැමීම ඉතා හොඳය.

2. එමෙන්ම, අමු නෙල්ලි ගෙඩි, උළුහාල්, දෙහි සමග තම්බා, අඹරා, පෙරා ගෙන හිසේ ආලේප කර, හොඳින් සෝදා හැරීම ද සිදු කළ හැක.

3. කෝමාරිකා යුෂ, මී පැණි සමග මිශ්‍ර කර, හිසේ ආලේප කර, විනාඩි 30 කට පමණ පසු ඇල් දියෙන් සෝදා හැරීම ද සිදු කළ හැක.

4. ඉදුණු බෙලි ගෙඩි මිරිකා ගත් විට, “කන්ඩිෂනර්” එකක් ලෙස එය හිස කෙස් වල ආලේප කළ හැකිය.

5. දෙහි, උළුහාල්, අරළු, බුළු, නෙල්ලි හොදින් තම්බා ගෙන මිරිකා ගැනීමෙන් ලැබෙන ආලේපය හිස පිරිසිදු කිරීමට ඉතා සුදුසුය.

හිස කෙස් වර්ධනය අඩු නම්, කෝමාරිකා යුෂ, බිත්තර කහ මද 01 ක්, එඩරු තෙල් තේ හැඳි 02 ක්, මී පැණි මේස හැඳි 01 ක් සමග මිශ්‍ර කර, හිස් කබලේ ආලේප කර, පැය භාගයකට පසු ඇල් දියෙන් සෝදා දැමීම සිදු කළ හැක.

නෙල්ලි, කලු තල ඇට, නෙළුම් රේණූ, වැල්මී, මී පැණියෙන් අඹරා හිසේ ගල්වා පැයකට පමණ පසු සෝදා හැරීමෙන් හිස කෙස් තද කලු පැහැ ගැන් වෙි.

එසේම, කහ, වෙනිවැල්ගැට, එළගි තෙලින් අඹරා හිසේ ගල්වා පැයකට පමණ පසුව සෝදා හැරීමෙන් ද  හිස කෙස් වල කලු පැහැය පවත්වා ගත හැකිය.

අස්ථි පද්ධතියේ හා හිසකෙස් වල පෝෂණය සදහා ඉවහල් වන ආහාර පාන දෛනිකව ලබා ගැනීම ඉතාම වැදගත්ය. තල, කුරක්කන්, කෝමාරිකා, හාතාවාරිය අල, නෙලුම් අල, කීකිරිඳිය, මොණර කුඩුම්බිය, තම්පලා, සියඹලා කොළ, කතුරුමුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්න, පතෝල, පුහුල් වැනි ධාන්‍ය, එළවළු හා පළා වර්ග ද , ඇඹරැල්ලා, නෙල්ලි, කෙසෙල්, දොඩම්, රටඉඳි, මුද්දරප්පලම්, තැඹිලි  වැනි පළතුරු ද සපිරි ආහාර නිතර ආහාරයට ගැනීම, නීරෝගී කෙස් කළඹක් පවත්වා ගැනීම සදහා ඉතා සුදුසුය.

ආයූර්වේද දින චර්යාවේ ද දෛනිකව හිස තෙල් ගෑම සිදු කළ යුතු බව දක්වා ඇත. මෙම චර්යා රටාවට අනුගත වෙමින්, හිස තෙල් ගෑමේ සැබෑ අරුත හොදින් වටහා ගෙන, සිංහල අලුත් අවුරුද්දේ, රටම එකම වේලාවකට සිදු කරන, හිස තෙල් ගෑමේ මංගල්‍යයට අපිත් දායක වෙමු.

අනුරාධපුර සාලියපුර “ශාන්ති සෙවන” රජයේ වැඩිහිටි නිවාසයේ ආයුර්වේද මධ්‍යස්ථානයේ

ස්ථාන භාර වෛද්‍ය නිළධාරි,

නිලන්ත බී. ඕලූකරඳ.

M.Sc. In MAAI (GWAI-Kelaniya), MPM (SLIDA), BAMS (IIM-Colombo).

දුරකතන- 071-8006910/ 071-8587880 / 077-7356135

විද්‍යුත් ලිපිනය-ayurveda.asapuwashe@gmail.com

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content