“දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ”

තරුණ බව යනු ජීවිත ගමනේ දී අප ඉතා ආශාවෙන් වැලඳගන්නා සිහිනමය යුගයකි. කුඩා අවධියේ සිහින මවන්නේ ඉක්මනින් ලොකු වීමටයි. කොණ්ඩය දික් කිරීමට, හැඩ-වැඩ දමා ඇවිදීමට, තාරුණ්‍යයේ විලාසිතා වැලඳ ගැනීමටය. ක්‍රමයෙන් මැදිවිය ඉක්මවාගෙන ජීවිතයේ අවර භාගයට පා තබද්දිත් අප බොහෝ විට උත්සාහ දරන්නේ තාරුණ්‍ය පවත්වා ගැනීමටයි. බාහිරින් රුව අලංකරණය සඳහා වන ආලේපන භාවිතා කර හෝ තරුණ වියේදී ගෙවා දැමූ පෙනුම නැවත ලබා ගැනීමට අපි උත්සාහ කරනවා. තරුණ වියේදීත් ආශා කරන්නේ එම තරුණ රූපය වැඩි දියුණු කරමින් පවත්වා ගැනීමටයි.

මෙය වත්මන් පරපුර දරන ප්‍රයත්නයක් නොව මෙලොව උපන් බොහෝමයක් දෙනා සිදුකල, සිදුකරන පොදු ප්‍රයත්නයකි. “අංගාර වේදයේ” ඉතිහාසය සොයා බලන විට රෝම ශිෂ්ඨාචාරයේත්, ඊජිප්තු ශිෂ්ඨාචාරයේත් කාන්තාවන් ඔවුන්ගේ සිරුරු පිරිසිදු කිරීමට, සුවඳවත් කිරීමට හා වර්ණවත් කිරීමට ආලේපන වර්ග ගල්වා තිබෙනවා. ලංකා ඉතිහාසය තුලත් කාන්තාව දේශීය වෙදකම හා බැදුණු රූපලාවන්‍ය සත්කාර ක්‍රමවේද හා රුව රැක ගැනීමේ ශිල්ප ක්‍රම බහුලව භාවිතා තර තිබෙනවා.

කෝට්ටේ යුගයේ සැළලිහිණි සන්දේශය රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් මෙසේ කියනවා..

“කවර කර කොකුම් සඳුනෙන් තැනූ සිසිල – පවර සුවඳ මල් දම් පැලඳ මන කළ

බැහැර සිහ පෙළු හිමි නැඟුනේ කෙලි ලොල – එ‘පුර හිදී සඳපානේ සදළු වල”

                  –  සැළලිහිණි සන්දේශය

කෝට්ටේ යුගයේ ජීවත් වූවන් කොකුම් පොතු ශරීරයේ ආලේප කර ඇති බව මෙයින් මනාව පැහැදිලි වෙනවා.

advanced divider

ලංකාව කියන්නේ ජෛව විවිධත්වය ඉතාම වැඩි ගහකොළින් පිරිච්ච රටක්. අපේ රටේ ඖෂධ පැලෑටි බහුලව තියෙනවා. ඒ නිසා අපිට ස්වභාවික ද්‍රව්‍ය සොයාගෙන ආලේපන ද්‍රව්‍ය සකසා ගන්න හැකියාව තියෙද්දී, අපි කෘතීමව නිෂ්පාදනය කරලා විකුණන ආලේපන ඇඟ ගල්වන්න ඇබ්බැහි වීම එතරම් නුවණට හුරු දෙයක් නොවෙයි.

රූපලාවන්‍යාගාරයකට ගිහින් අපි ලබා ගන්නා සේවාවන් සලකලා බැලුවාම ඉන් 75% හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපට ගෙදරදීම සිදුකරගත හැකි ප්‍රතිකාරයි. ඊට අමතරව අපි රූපලාවන්‍යගාරයකට ගිහින් මිලට ගන්නේ සතුට හා තෘප්තිය පිළිබඳ හැගුම් සමූහයකුයි. තම තමන්ගේ රූපය ගැන තෘප්තියට පත් වීමේදී එහි නොසෑහෙන ලාභයක් ලබන්නේ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අයයි.

විශේෂයෙන්ම ඉන්දියාව හා ලංකාව තුළ කාන්තාවන් සම සුදුවීම උසස් දෙයක්, වඩා සුන්දර දෙයක් ලෙසින් සලකනවා. ඉන්දියාවේත්, ලංකාවේත් වෙළඳපොළ තුළ වැඩිම ඉල්ලුමක් ඇත්තේ සම සුදු කරන, පැහැය වැඩි කරන ක්‍රීම් වර්‍ග වලටයි. ඊට අමතරව සම, හිසකෙස් හා නියපොතුවල වර්ධනයට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක කොටස් පෙති වශයෙන් හෝ සිරප් වර්‍ග වශයෙන් හෝ එන්නත් මාර්ගයෙන් හෝ අභ්‍යන්තරයට ලබා ගැනීම විලාසිතාවක් වෙලා තියෙනවා. විශේෂයෙන් බයෙටීන්, එනම් විටමින් – B7, β-කැරොටීන්, විටමින් – E, විටමින් – A සහිතව නිෂ්පාදිත පෙති වර්‍ග, කරල් වර්‍ග අලෙවිය බහුලව සිදු වෙනවා.

ඉහත ක්‍ෂුද්‍ර පෝෂක කොටස් රූපය රැක ගැනීමේදී සැලකිය යුතු මෙහෙයක් සිදු කරන අතර, ගැටලුව වන්නේ එළවළු, පලා වර්‍ග හා පළතුරු මගින් නොව පෙති, කරල් හරහා ඉක්මනින් සුදු වීමට, ඉක්මන් ලස්සනකට, මාත්‍රාවන් ඉක්මවාද මේවා ලබා ගැනීමෙන් ශරිරයට සිදුවන හානිය ගැන ප්‍රමාණවත් කතිකාවතක් සිදු නොවීමයි.

විශේෂයෙන් “බයොටින්” නම් විටමිනය දිගු කාලීනව අධිමාත්‍රයෙන් ශරීරයට ලබා ගත් විට අග්න්‍යාශයේ ලැන්ගහැන් දීපිකා වල ඇති සෛල වලට හානි සිදුවේ. මේ නිසා ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය අඩාල වීමක් සිදු වී අවසානයේදී දියවැඩියා රෝගියෙකු බවට පත් වීම සිදු විය හැක.

හම රන්වන් පාට කර ගැනීම අරමුණු කර ගෙන “β-කැරොටින්” වැඩි මාත්‍රාවෙන් ලබා ගැනීම නිසා හිස කෙස් වැටීම, තොල් පැලීම, විදුරු මස් ඉදිමීම, ආහාර දිරවීමේ ගැටලු ඇතිවෙන්න පුළුවන්.

පැලවෙන ධාන්‍ය වල, බඩඉරිඟු වල, සලාද කොළ වල , තද කොළ පාට පලා වර්ග වල විටමින් – “E” බහුලව තියෙනවා. විටමින්–E ඉතාම හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. ශරීරයේ පරිවෘත්තීය කියාවලියේදී හැදෙන විෂ කොටස් (Free radicals) ඉවත් කිරීමට විටමින්–E උදව් වෙනවා. නමුත් කරල් විදිහට, පෙති විදිහට අධිකව මේවා දිනපතා ගැනීම ශරීරයට අහිතකරයි.

advanced divider

වැඩිපුර අලුත් එළවළු, පළතුරු පලා වර්ග ආහාරයට ගැනීමේදී වැඩි වශයෙන් ප්‍රතිඔක්සිකාරක ශරීරයට ලැබෙනවා. පරම්පරා කීපයකට ඉහත අපේ උදවිය වයසට ගියත් කෙස් නිරෝගීව කලුවට පැවතුනේ මේ ප්‍රතිඔක්සිකාරක වැඩි වශයෙන් ආහාර වලින් ලබා ගත් නිසයි. සමේ තරුණ පෙනුම රැක දීමත්, සම පැහැපත් වීමත්, සම වයසට යාමෙන් ආරක්ෂා කිරීම පමණක් නොව මුළු සිරුරේම නීරෝගී පැවැත්ම සඳහාත් ස්වභාවික ආහාර රටාව බලපෑම් කරනවා.

උදෑසන හිස් බඩට අලුත් පලා වර්ග, එලවළු හා පළතුරු යුෂ සංස්කරණයන්ගෙන් තොරව හිස් බඩ පානය කිරීමෙන් රුව රැක ගැනීම උදෙසා විශ්මිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නිදසුන් විදිහට කුරුලෑ හැදුනු කෙනෙකුට පිපිඤ්ඤා යුෂ, පිනි ජම්බු යුෂ, නිවිතිය යුෂ මි.ලි. 180 ක පමණ ප්‍රමාණයක් උදේ හිස්බඩ පානය කිරීම ඉතාම ගුණයි. සම වියැළි ඉරිතැලී ගිය ස්වභාවයෙන් යුක්ත නම්, කෝමාරිකා බීම, පිපිඤ්ඤා යුෂ, කොමඩු යුෂ ඉතාම ගුණයි. මේවා අපිට ගෙදරදීම අත්හදා බලලා විශිෂ්ඨ ප්‍රතිඵල අත්විදින්න පුළුවන්.

ආයුර්වේදයේදී කාන්තාවන්ගේ ලස්සන ගැන කථා කරන කොට පංචකල්‍යාණයට තියෙන ප්‍රමිතිය ගැන කිය වෙනවා. පංචකල්‍යාණය කියන්නේ ඡවි කල්‍යාණය, කේශ කල්‍යාණය, වයඃ කල්‍යාණය, දන්ත කල්‍යාණය හා මාංශ කල්‍යාණයටයි.

උප්පත්තියෙන්ම අප හිමි කර ගන්නා රූපය පවත්වාගෙන යාමේදී 95 % ක් රඳාපවතින්නේ ශරීරයට ලැබෙන පෝෂණය මතයි. ශාරීරික වගේම මානසික පැවැත්මේ යහපැවැත්ම පුද්ගලිකව රූපය රැක ගන්න ඍජුවම දායක වෙනවා. පිටින් ගාන බාහිර ආලේපන මගින් ඔපමට්ටම් කරගන්න පුලුවන් 5 % ක් වගේ සුළු ප්‍රමාණයක්. නමුත් ලස්සන වෙන්න දඟලන කොට අපි 95 % ක්ම වියදම් කරන්නේ ක්‍රීම් වර්ග වලට, ආලේපන වලට, ඇඟට ගැලපෙන විදිහට ආහාර රටාව හදා ගන්න අපි උත්සාහ කරන්නේ නැති තරම්.

මානසික ආවේග තරම් ක්‍ෂණිකව අපේ රූපය වෙනස් කරන ප්‍රභලම සාධකයක් තවත් නෑ. අපිට කේන්ති ගියාම මුහුණේ මාංශ පේශීන් දික් අතට ඇදෙනවා. එතකොට සමත් ඇදෙනවා. නිතර නිතර කේන්ති ගන්න කෙනෙක්ගේ කම්බුල් ආශ්‍රිත සම දික් අතට එල්ලා වැටෙන්න ගන්න නිසා මූහුණට අකලට මහලු වුනු පෙනීමක් එනවා. ක්‍රීම් ගාලා කොහොමද මේ තත්ත්වය නැති කර ගන්නේ. නිතරම සතුටින් ඉන්න කෙනෙක්ගේ මුහුණේ කම්මුල් ආශ්‍රිතව තියෙන පේශීන් තිරස් අතට ඇදෙනවා. මාංශ පේශීන් ඉහිල් වෙනවා. ඒ නිසා සම එල්ලා වැටීම අඩුයි. තරුණ බවක් මුහුණෙන් දැක ගන්න පුළුවන්. ලස්සන රැක ගන්න උත්සාහ කරන කෙනෙක් මානසික සංහිදියාවන් ලබා දෙන යෝග ව්‍යායාම, ආගමික කටයුතු වල නිරත වීම් ඉතාම වැදගත් වෙනවා.

advanced divider

වෙළඳපොලේ ගන්න තියෙන රූපලාවන්‍ය ආලේපන වර්ග දිහා බැලුවොත් ඒවායින් 95 % ක්ම ආයුර්වේද හෝ ශල්‍යාගාර කියන නම යටතේ තමා අලෙවි වෙන්නේ. මොකද සමට හානියක් නොකර ලස්සන වෙන්න නම් ගාන ක්‍රීම් එක ශාකසාර වෙන්නම ඕනේ හෝ ආයුර්වේද නම් හොඳයි කියලා පිලිගැනීමක් තියෙනවා. නමුත් ගැටලුව තමා ආයුර්වේද හෝ ශාකසාර හෝ වුනාට ඇත්තටම ඒ ආලේපන ස්වභාවික ඒවා ද කියන එකයි. සමේ ගාන ආලේපන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේදී යොදා ගන්නා පෙට්‍රෝලියම් ජෙලි මගින් සමේ තියෙන ක්‍ෂුද්‍ර විවරයන් වහලා දානවා. ඒ විතරක් නෙවෙයි, සම මතුපිට තට්ටුවක් වගේ තියෙන ක්‍රීම් උඩ බැක්ටීරියා, දිලීර වර්ධනය වෙලා සමේ රෝග ඇති කරනවා.

මීට අමතරව Sodium Laurel Sulfate (SLS) Sodium Laureate Sulfate (SLES), කියන රසායනික සංයෝග වලින් සමේ ආසාත්මික තත්වයක් ඇති කරන අතර සමේ තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථි (sebaceous gland) වලට හානි කිරීම නිසා සමේ වියළි බවත්, කොරල ස්වභාවයත් ඇති කරනවා. මීට අමතරවල මිනරල් ඔයිල් කියන පෙට්‍රෝලියම් සංයෝගය මඟින් සමට අත්‍යවශ්‍ය විටමින් වර්‍ග වන විටමින් A, D, E හා K විනාශ කරන නිසා කාලයක් යන කොට සමේ Black heads, White heads හා කුරුළෑ ඇති කරනවා.

හොඳින් අවධානයෙන් බලන්න ඔබ සමේ විවිධ ආලේපන නොගල්වන කාලයට වඩා සමේ ගැටළු මතුවෙන්න පටන් ගන්නේ ක්‍රීම් වර්ග භාවිතා කරන්න අරන් කාලයක් ගියාට පස්සේ නේද? මීට අමතරවල ක්‍රීම් වර්ග කල් තබා ගන්න එකතු කරන රසායනික ද්‍රව්‍ය හා වර්ණක පිලිකා කාරකයි. විශේෂයෙන් හම සුදු කරන ක්‍රීම් වල රසදිය, “හයිඩ්‍රොක්විනෝන්” අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා හමේ ගාන්න ගන්න ආලේපන මිලදී ගන්න කොට ඒවායේ අන්තර්ගත සංයෝග ගැන දැනුවත් වීම වැදගත්. රූපලාවන්‍යාගාරයකදී ඔබේ සමේ, හිසේ ගල්වන ආලේපන වල අඩංගු දේවල් ගැන දැනුවත් වෙන්න. පුලුවන් තරම් ගෙදරදී හදාගන්න පුලුවන් ස්වභාවික ප්‍රතිකාර වලට යොමු වෙන්න.

 

කාන්තාවන්ගේ ඉනේ වට ප්‍රමාණය හා උකුලේ වට ප්‍රමාණය යන අනුපාතය 0.7 ක් වූ විට ඇගේ ශරීරයේ ඉන ප්‍රදේශයට ඉතාම ආකර්ෂණීය පෙයාර්ස් ගෙඩියක හැඩයක් ලැබෙන අතර මෙම අගය 0.7 ට වඩා වැඩි වූ විට උකුලට වඩා ඉන වට ප්‍රමාණය මහත් වෙලා උදර ප්‍රදේශය ඇපල් ගෙඩියක හැඩයක් ගන්නවා.

ආකර්ෂණීය හැඩැති සිරුරක් ලබා ගැනීමට අද කාලේ නොකරන දෙයක් නැති තරම්. දුක් විඳ විඳ නොකා ඉන්නවා. හැබැයි තමන්ගේ ඇඟට ගැලපෙන ආහාර රටාව ගැන නිවැරදි අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන්නේ නෑ. ඇඟට නොගැලපෙන ආහාර වර්ග වලට ආයුර්වේදයේ නමක් තියෙනවා. “අභිනාශන” කියලා. තෙල් අධික ආහාර සීනි හා සීනි මිශ්‍රිත ආහාර, කෘත්‍රීම රසකාරක යෙදූ ආහාරපාන ශරීර නිරෝගි භාවයට ගැටලු බහුලවම ඇති කරනවා.

ලස්සන වෙන්න කැමැති අය සීනි තියෙන ආහාර නතර කරන්න ඕන. ගොඩක් වෙලාවට මහත් වෙන්න හේතුව තෙල් කෑමටත් වඩා සීනි සහිත කෑම වැඩිපුර ගැනීම. සීනි වැඩිපුර ගත්තාම ඇගේ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය අඩුවෙලා හම ඉක්මනින් වයසට යනවා.

advanced divider

සීනි වලින් 50 % ක්ම “ෆරක්ටෝස්” (Fructose),  කියන “මොනොසැකරයිඩයයි”. එය ග්ලූකෝස් වගේ ශරීරයේ සෑම සෛලයක දීම පරිවෘත්තියට ලක්වෙන්නේ නෑ. Fructose පරිවෘත්තියට ලක් වෙන්නේ අක්මාවේදී වන අතර එයින් 30 % ක් තෙල් බවට හැරෙනවා. මේ හැදෙන තෙල් වලින් වැඩි ප්‍රතිශතයක් ඇඟට අහිතකර ” කොලෙස්ටරෝල් – (LDL)” බවට පත්වෙනවා.

මීට වසර 20 ට පමණ පෙර දෛනික සීනි පරිභෝජනයට වඩා අද කීහිප ගුණයකින්ම සීනි කෑම වැඩි වෙලා. කෘතීම පලතුරු බීම නිෂ්පාදනයේදී රස ගැන්වීමට යොදා ගන්නා High fructose cone syrup මගිනුත් අනවශ්‍ය ලෙස සීනි ශරීරගත වීම සිදු වෙනවා. විවිධ කෝලා වර්ගයේ බීම ආහාර රුචිය වැඩි කිරීම උදෙසා බොන්න ගොඩක් අය ඇබ්බැහි වෙලා. එක කෝලා බීම බෝතලයකින් 150 k.cal පමණ කැලරි ප්‍රමාණයක් හා විවිධ වර්ණක වර්‍ග ශරීර ගත වන අතර අවුරුද්දක් එක දිගට දවසකට බෝතලය බැගින් බිව්වොත් එයින්ම ශරීර බර 15 kg විතර වැඩි වෙලා. ඉතින් ඇඟ කෙට්ටු කරගන්න ආයේ ලොකු වෙහෙසක් ගන්න වෙනවා.

ප්‍රධාන ආහාර වේලක් ගන්තට පස්සේ බඩගින්න නැති විටත් වරින් වර කෙටි කෑම වර්ග ගන්න එක වැරදි ආහාර ගැනීමේ පුරුද්දක්. ආයුර්වේදයේදී “අධ්‍යශන” නමින් මෙය හඳුන්වනවා. වැරදි ආහාර ක්‍රමවේදයන්ගෙන්, රටාවන්ගෙන් මිදිලා නිවැරදි ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාමත් ඒ තුලින් නීරෝගී රූසපුවක් පවත්වාගෙන යාමටත් සමබල ආහාර වේලක් ගන්න ඕන.

ආයුර්වේදයේ සමබල ආහාර වේලක තියෙන්න ඕන රසායනික සංඝටක ස්වරූපය ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. දිවට දැනෙන රස වර්ග වන පැණිරස, ඇඹුල් රස, ලුණු රස, කටු රස, තිත්ත රස, කසට රස යන රස 6ම (ෂඩ් රසය) ඔබේ කෑම පිඟානේ තියෙනවාද බලන්න. ගොඩක් වෙලාවට වැඩිපුරම අපි ආහාරයට ගන්නේ පැණි රස, ඇඹුල් රස, ලුණු රස කියන රස වර්ග තුනට අයිති ආහාර සංස්කරණයන්. අනිත් රස තුන අමතක වුනාම අපේ ඇඟ ඒක මතක් කරනවා, ලෙඩකට මඟ පාදලා.

ආයුර්වේද බෙහෙත් ගොඩක් තිත්තයි, කසට රසයි. ඒ නිසා නීරෝගී කයක් මගින් ලස්සන රුවක් පවත්වන්න මේ ෂඩ් රසයම සහිත කෑම දිනපතා ආහාරයට ගන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම ආහාර වර්ග වල උෂ්ණ, ශීත ගුණයන් සමබල වන විදිහට ආසාත්මිකතාවයන් ඇති නොවන විදිහට ආහාර රටාව සකසා ගත්තොත් එය දිරවලා ශරීරයට ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන “පංචකාම” සම්පත්තිය ලැබෙන බව ආයුර්වේදයේ ඉගැන්වෙනවා.

දැන් ඔබට තේරෙනවද සමේ වර්ණය පැහැපත් වෙන්න, ලස්සන වෙන්න 95 % ක් දායක වෙන්නේ අපි ගන්නා කෑම බීම වල සමබරතාවය හා මානසික සංහිඳියාව බවත් පිටින් ගාන දේවල් වලින් මැවෙන රූපය ආලේපන ගාගෙන ඉන්නකන් විතරයි රැඳෙන්නේ කියලා. ඒවායින් අපිට රූපය ඔපදමා ගන්න පුලුවන්. ඒ නිසා ලස්සන වෙන්න ගෙදරදී හදාගන්න පුළුවන් ආලේපන වලින් හොදම ප්‍රතිඵල ලබා ගමු.

advanced divider

අපි උදේට නාලා පිරිසිදු වෙනවනේ. උදේට හරි හවසට හරි ඔබ මෙය සතියක් පමණ කරලා සමේ වියලීම්, ඉරි තැලීම් වලට මොකද වෙන්නේ කියලා බලන්න. ත්‍රිපලා තෛලය කියන බෙහෙත් තෙල් එක මූණේ ඉදලාම භය නැතිව හමේ ආලේප කරන්න. ඉන් පසුව කඩල පිටි, ත්‍රිපලා කුඩු සමානව අරගෙනල මී පැණි දාලා වතුර ටිකක් මිශ්‍ර කරලා සමේ ආලේප කරලා විනාඩි 10 ක් මසාජ් කරලා සෝදලා දාන්න. සබන් හෝ වෙනත් පිරිසිදු කාරක භාවිතා කරන්න එපා. ඔබට අවශ්‍ය නම් ත්‍රිපලා තෙල් වලට සුදු හදුන් තෙල්, “ජස්මින් ඔයිල්” වගේ සුවඳකාරක එකතු කර ගන්න පුළුවන්. මේ ප්‍රතිකාරය කලාම කිසිම ක්‍රීම් වර්ගයක් හමේ ගාන්න අවශ්‍ය නෑ. සමේ තෙතමනය රැක දෙනවා. සම පැහැපත් වෙනවා. වියළි බව නැති වෙනවා. සමේ රැලි වැටීම් ක්‍රමයෙන් නැති වෙනවා. කඩල පිටි වලින් හොදින් සෝදා දමන නිසා තෙල් ගෑවම සම කලු වෙන්නේ නෑ. ඉතාම හොදින් වැඩි වියදමක් නැතුව තරුණ පෙනුමැති සමක් ඔබට ලැබේවි.

සම පැහැපත් කර ගන්න අරලු කුඩු, කොහොඹ කොල, දෙළුම් ගෙඩිවල නැටි, ඉද්ද කොල ඇල් දියෙන් අඹරලා මුහුණේ හා ශරීරයේ ආලේප කරන්න. පැය භාගයකින් ඇල් දියෙන් සෝදා දාන්න.

කුරුළෑ තියෙනවා නම් වද කහ, කොත්තමල්ලි, ලොත් සුබුල් ඇල් දියෙන් අඹරා ගාන්න. ඉක්මනින් සුව වේවි.

සමහර අයගේ බෙල්ල වටා කලු වෙලා. කිහිලි යට කලු වෙලා. දහඩිය ගඳ දැනෙනවා. ඒ වගේ වෙලාවට සුදු හඳුන්, එනසාල්, සාදික්කා, කොල්ලන් කොල, අරලු, ඉරිවේරිය ඇල් දියෙන් අඹරලා ඇගේ ගාන්න. ශරීරය සුවඳවත් වේවි.

හිසකෙස් ගැලවෙනවා නම්, තුනී වෙලා නම්ල එඩරු තෙල් මේස හැදි 02 ක් හා මී පැණි මේස හැදි 02 ක් බිත්තර කහ මද සමඟ මිශ්‍ර කරලා හිස් කබලේ ආලේප කරලා පැය 2 ට පස්සේ ෂැම්පු නොකර සෝදලා දාන්න. සතියට දින 3 පමණ මාසයක් විතර කරලා ප්‍රතිඵල බලන්න.

හිස කෙස් සෝදන්න සුදුසු ෂැම්පු වර්‍ගයක් ගෙදරදීම හදාගන්න පුලුවන්. උළු හාල්  250 g ක්, සීයක්කා 250 g ක්, දොඩම් ලෙලි අහුරක්, ගස් පෙනල ගෙඩි 100 ක් හොඳට වේලලා කුඩු කරලා තියා ගන්න. ෂැම්පු කරන්න පැය දෙකකට පෙර උණු වතුර කෝප්ප භාගයක් කුඩු මේස හැදි එකකට හෝ දෙකකට දමා පෙගෙන්න තබා අනෙක් ෂැම්පු වගේම භාවිතා කරන්න. හිස් හොරි නැති වෙලා නීරෝගී කෙස් කලඹක් ලබා ගන්න පුලුවන්.

ලස්සනට ඉන්න කවුරුත් කැමතියි. රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය අද වාණිජකරණ යට ලක් වී මුදල් උපයන ක්‍ෂේත්‍රයක් බවට පත් වී ඇති නිසා, “දැන ගියොත් කතරගම – නොදැන ගියොත් අතරමඟ” කියමන සිහි තබා ගන්න. ලස්සන වෙන්න තරුණ බව රැක ගන්න නිවැරදිම පාර තෝරා ගන්න.

advanced divider

අනුරාධපුර පලාත් ආයුර්වේද රෝහලේ බාහිරාංශයේ,
පංච කර්ම උපදේශක වෛද්‍ය නිලධාරිනී,
වෛද්‍ය ශමිලා කල්හාරි ගුණතිලක.

BAMS (IIM-Colombo), Post Graduate Dip.in Panchakarma (GWAI-Kelaniya),

Cer. in Ayurvedic Beautyculture (GWAI- Kelaniya), Cer. in Beautician (NYSC)

දුරකතන- +94 703 212 345

විද්‍යුත් ලිපිනය – arogya.ayumed@gmail.com

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content