කාබනික වගාව

දේශගුණික විපර්යාස හමුවේ කෘෂි කර්මාන්තය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා තිරසාර විසඳුමක් වශයෙන් කාබනික කෘෂි කර්මාන්තය හැඳින්විය හැක. හරිත සමාජ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන කාබනික පොහොර භාවිතයෙන් සිදු කරනු ලබන කෘෂි කර්මාන්තය, තිරසාර ආර්ථික ක්‍රමෝපායක් වශයෙන් ද සැලකිය හැක.

ස්වභාවික පරිසරයේ පහසුවෙන් සොයාගත හැකි විවිධ අමු ද්‍රව්‍ය භාවිතයෙන් වගාබිම් තුලදීම මෙම කාබනික පොහොර නිෂ්පාදනය කල හැක. මෙම කාබනික පොහොර පසට යෙදීම මගින් බෝග වගාවල අස්වැන්න නෙලීමේදී පසෙන් ඉවත්වන පෝෂක ද්‍රව්‍ය නැවත පසට එක් කිරීම අරමුණු කරන අතරම පසේ සාරවත් බව රැක ගැනීමට වැදගත් වන පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමත්, ‌පසේ භෞතික ගුණාංග වැඩි දියුණු කිරීමත් අරමුණු කෙරේ.

කාබනික පොහොර භාවිතයේ වැදගත්කම

  • පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වීම.
  • බෝග වගා සඳහා අවශ්‍ය ප්‍රධාන පෝෂක මෙන්ම අංශු මාත්‍ර පෝෂක ද්‍රව්‍ය ද ලබා දීමේ හැකියාව.
  • පසේ බුරුල් බව ඇති වීම හේතුවෙන් වාතනය හොඳින් සිදුවීම හා මූල පද්ධතිය හොඳින් වර්ධනය වීම පහසු වීම.
  • පසේ ජලය හා ශාක පෝෂක රඳවා ගැනීමේ හැකියාව වැඩි දියුණු වීම.

කාබනික පොහොර වශයෙන් යොදාගත හැකි ද්‍රව්‍ය

  • කොම්පෝස්ට් පොහොර

  • කොළ පොහොර

  • සත්ත්ව පොහොර

  • බෝග අවශේෂ

  • ගැඩවිල් කොම්පෝස්ට් පොහොර

  • ගැඩවිල් දියර පොහොර

  • කොම්පොස්ට් ( තේ ) දියර පොහොර

  • මාළු නිස්සාරක ( ෆිෂ් ටොනික් )

  • ජීව මෘත

  • පළතුරු ටොනික්

කොම්පෝස්ට් සැකසීම

කොම්පෝස්ට් නිෂ්පාදනය යනු ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය උපයෝගී කරගෙන ශාක කොටස් හා සත්ත්ව අපද්‍රව්‍ය දිරාපත් කර සරල කාබනික ද්‍රව්‍ය නිපදවා ගැනීමේ ක්‍රියාවලියයි. වානිජ වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොර ලෙස කොම්පෝස්ට් පොහොර හැඳින්විය හැක. ඒ අනුව ජීරණය වූ කාබනික ද්‍රව්‍ය, මැරුණු හා නොමැරුණු ක්ෂුද්‍ර ජීවීන්ගෙන් කොම්පොස්ට් සමන්විත වී ඇත. උසස් වර්‍ගයේ කොම්පෝස්ට් සැකසීම සඳහා අමු ද්‍රව්‍ය ගණනාවක් භාවිතය වැදගත් වේ.

භාවිතා කල හැකි අමුද්‍රව්‍ය

  • ශාක පත්‍ර

  • බෝග අවශේෂ

  • ජලජ ශාක

  • සත්ත්ව අපද්‍රව්‍ය

  • වල් පැලෑටි

  • දිරාපත් වන කොල රොඩු

අමු ද්‍රව්‍ය වර්‍ග 2 කි.

  • ඉක්මනින් දිරාපත් වන
  • දිරාපත් වීමට අපහසු

ඉක්මනින් දිරාපත් වන අමු ද්‍රව්‍ය

  • කොළ පැහැති ලපටි කොළ
  • සත්ත්ව අපද්‍රව්‍ය
  • ජලජ ශාක

දිරාපත් වීමට අපහසු අමු ද්‍රව්‍ය

  • දහයියා
  • වියළි කොළ
  • ලී කුඩු
  • වියළි වල් පැලෑටි
  • පිදුරු
  • වෙනත් වියළි බෝග

කොම්පෝස්ට් නිෂ්පාදනයේදී බලපාන සාධක

  • අමු ද්‍රව්‍ය වල කාබන් හා නයිට්‍රජන් අනුපාතය
  • උෂ්ණත්වය
  • තෙතමනය
  • වාතනය
  • ප්‍රතික්‍රියා තත්ත්වය
  • පෙරලීම
  • ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය
  • අමු ද්‍රව්‍ය කැබලි වල ප්‍රමාණය
  • මූල ද්‍රව්‍ය සැපයීම

අමු ද්‍රව්‍ය වල කාබන් නයිට්‍රජන් අනුපාතය

  • කාබන් මඟින් ක්ෂුද්‍ර ජීවීන් ශක්තිය ලබා ගනී. ඔවුන්ගේ සෛලවල ප්‍රෝටීන නිපදවා ගැනීම සඳහා නයිට්‍රජන් වැදගත් වේ.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය අඩු අමුද්‍රව්‍ය ඉක්මණින් දිරාපත්වේ.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය වැඩි අමුද්‍රව්‍ය  දිරාපත් වීමට කල් ගතවේ.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය අඩු වූ විට ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩිවේ. වැඩිපුර නයිට්‍රජන් අන්තර්ගත අමු ද්‍රව්‍ය ලෙස රනිල ශාක, ළපටි කොළ, සත්ත්ව අපද්‍රව්‍ය භාවිතා කල හැක.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය වැඩි අමු ද්‍රව්‍ය, අනුපාතය අඩු අමු ද්‍රව්‍ය සමග මිශ්‍ර කර භාවිතා කිරීම මගින් දිරාපත් වීම ඉක්මන් කල හැක.  

උෂ්ණත්වය

උෂ්ණත්වය ඉහල විට,

  • රෝග කාරක විනාශවීම
  • අහිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශවීම
  • වල් ඇට මැරී විනාශවීම 

සිදුවේ. සෙන්ටිග්‍රේඩ් අංශක 70ට වඩා ඉහළ උෂ්ණත්ව කොම්පෝස්ට් නිෂ්පාදනයට හානිදායකය. අධික උෂ්ණත්ව වලදී ක්ෂුද්‍ර ජීවීන් මිය යන නිසා ද්‍රව්‍ය දිරා පත්වීම වීම අඩුවේ.

වැඩි කාබන් හා නයිට්‍රජන් අනුපාතයක් ඇති අමු ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීමෙන් ප්‍රශස්ථ උෂ්ණත්වයක් පවත්වා ගැනීම අපහසු වේ. ප්‍රශස්ථ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 55-60 අතර වේ. 

උෂ්ණත්වයට බලපාන සාධක

  • කාබන් හා නයිට්‍රජන් අතර අනුපාතය.
  • තෙතමනය.
  • පෙරලීම.
  • ගොඩේ ප්‍රමාණය.

ගොඩ ආවරණය කිරීම මගින් එහි උෂ්ණත්වය වැඩි කර ගත හැක. 

තෙතමනය

  • ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ජලය අවශ්‍ය වේ.
  • තෙතමනය අඩු වූ විට ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය අඩුවේ.
  • අධික ලෙස ජලය පැවතුනහොත් වාතනය අඩු වීම නිසා දිරාපත් වීම අඩුවේ. නිර්වායු තත්ත්වයක් පවා ඇති විය හැක.
  • භාවිතා කලයුතු අමු ද්‍රව්‍ය වල ප්‍රශස්ථ තෙතමනය 50% – 60% කි.
  • වියළි කාල වලදී උල් කරගත් ලීයක් ගොඩ තුලට ඇතුළු කර තෙතමනය පරීක්ෂා කර අවශ්‍ය නම් ජලය එක් කල යුතුය. වර්ෂාවෙන් නොතෙමෙන ලෙස ආවරණය කිරීමද වැදගත් වේ.

වාතනය

කොම්පෝස්ට් සෑදීමේදී ගොඩ තුලට ඔක්සිජන් ලැබිය යුතු අතර කාබන්ඩයොක්සයිඩ් පිට විය යුතුය.

  • ඔක්සිජන් නොලැබීමෙන් නිර්වායු තත්ත්වයක් ඇතිවිය හැක. එවිට ගොඩ තුල ආම්ලික තත්ත්වයක් ඇති වී දුඟදක් ඇතිවේ.
  • හොඳ වාතනයක් සඳහා විවිධ අමු ද්‍රව්‍ය මාරුවෙන් මාරුවට තට්ටු ලෙස සැකසීම වැදගත් වේ.
  • ගොඩ පළල වැඩි වීමෙන් වාතනය දුර්වල විය හැක.
  • අවශ්‍ය නම් උණ බම්බු, ලී, පී.වී.සී. බට තබා ගොඩ තුලට වාතය සැපයීම වර්ධනය කල හැක.

ප්‍රතික්‍රියා තත්ත්වය

  • කොම්පෝස්ට් ගොඩේ pH අගය ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් වේ.
  • භාෂ්මික තත්ත්වයකදී ( 8 – 14 pH ) ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය අඩුවේ.
  • මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අළු හුණු හෝ අළු භාවිතා නොකල යුතුය. කොම්පොස්ට් නිෂ්පාදනය අවසානයේදී, බෝග වලට යොදන අවස්ථාවේ දී අළුහුණු යෙදීම සිදුවේ.
  • එමෙන්ම භාෂ්මික තත්ත්වයකදී අමු ද්‍රව්‍ය වල අඩංගු නයිට්‍රජන්, ඇමෝනියා වායුව ලෙස පිටවී යාම සිදුවිය හැක.

පෙරලීම

  • ගොඩේ ඇතුලත ප්‍රදේශයට වාතය සැපයේ.
  • දිරාපත් ‌නොවූ අමු ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන්ට නිරාවරණය වේ.
  • අවශ්‍ය නම් ගොඩ තුලට ජලය සැපයීම සිදු කල හැක.
  • කොම්පෝස්ට් නිෂ්පාදනයේදී පෙරලිය යුතු අවස්ථා ගණන උපරිම 3 කි.
  • පෙරලීමෙන් වැඩි තෙතමනයක් ඇත්නම් වියළීමට අවස්ථාව ලැබේ.

ක්ෂුද්‍ර ජීවීන් එක් කිරීම.

  • දිරාපත් වීමේ ක්‍රියාවලිය සඳහා ක්ෂුද්‍ර ජීවීන් වැදගත්වේ.
  • කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් දිලීර මගින් සිදුවේ.
  • දිරාපත් වීමේ ක්‍රියාවලියට ක්ෂුද්‍ර ජීවීන් අත්‍යාවශ්‍ය නිසා කොම්පොස්ට් නිපදවීමේදී ස්ථර කිහිපයකට වරක් නිෂ්පාදනය කල (මුහුන්) කොම්පොස්ට් ස්වල්පයක් ඉසීම කල යුතුය. මෙමගින් ගොඩ තුලට ක්ෂුද්‍ර ජීවීන් එක් කිරීම සිදුවේ.

අමු ද්‍රව්‍ය කැබලි වල ප්‍රමාණය

  • කුඩා කැබලි මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වැඩිය.
  • කැබලි ඉතා කුඩා වුවහොත් තද වීම නිසා ගොඩ තුලට වාතනය ( වාතය ඇතුළු වීම හා පිටවීම ) දුර්වල වීම සිදුවිය හැක.
  • විශාල ප්‍රමාණයේ කැබලි මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය සෙමෙන් සිදුවේ.
  • ප්‍රශස්ථ කැබලි වල ප්‍රමාණය 5 cm පමණ වේ.
  • යන්ත්‍රානුසාරයෙන් ගොඩ තුලට වාතය සපයන්නේ නම් කැබලි වල ප්‍රමාණය 1 cm පමණ දක්වා කුඩා විය හැක.
  • සාමාන්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනයේදී කැබලි කිරීම අවශ්‍ය නොවේ.

මූල ද්‍රව්‍ය සැපයීම

  • බොහෝ විට අමු ද්‍රව්‍ය වල අඩංගු පොස්පරස් ප්‍රමාණය අඩුය.
  • ලංකාවේ දක්නට ලැබෙන පසේ අඩංගු පොස්පරස් ප්‍රමාණයද අඩුය.
  • ඒ නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී එප්පාවල රොක් පොස්පේට් භාවිතා කල හැක.
  • එමගින් ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වැඩිවීම සිදුවේ.

ප්‍රධාන කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම

  1. ගොඩ ක්‍රමය
  2. වල ක්‍රමය
  3. බැරල් ක්‍රමය
  4. කෝටු රාමු ක්‍රමය

ගොඩ ක්‍රමය

  • පහසුම ක්‍රමය වේ. විශාල ප්‍රමාණයේ වානිජ කොම්පෝස්ට් නිෂ්පාදයට පවා සුදුසුම ක්‍රමය වේ. පෙරළීමට පහසුය. ප්‍රශස්ථ තෙතමනය, වාතය හා උෂ්ණත්වය වැනි තත්ත්ව පවත්වා ගැනීමට සුදුසුම ක්‍රමය වේ. අඩු ශුමයකින් වැඩි ප්‍රතිඵල ලබා දෙන ක්‍රමයකි.

වල ක්‍රමය

  • වැඩි ශ්‍රමයක් වැය වේ. කුඩා ප්‍රමාණයේ නිෂ්පාදන සඳහා සුදුසුය. පෙරළීම අපහසුය. ප්‍රශස්ථ තත්ත්ව පවත්වා ගැනීමට අපහසුය. වර්ෂා කාලවලදී භාවිත කිරීමට අපහසු ක්‍රමයකි.

බැරල් ක්‍රමය

  • නගරබද ගෙවතු සඳහා සුදුසු වේ. පෙරළීමක් සිදු නොවේ. දිරාපත් වීමට කල් ගත වේ. දිනපතා අමු ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ලැබෙන ස්ථාන සඳහා භාවිත කිරීමට සුදුසු ක්‍රමයකි. 

කෝටු රාමු ක්‍රමය

  • කුඩා ගොවිපොළවල් සඳහා සුදුසුය. පෙරළීමක් සිදු නොවේ. ඉක්මනින් වියළීමට භාජනය වේ. බෝග අවශේෂ, වල් පැල ආදිය ප්‍රතිචක්‍රීකරණයට වැදගත්වේ. කොම්පෝස්ට් නිෂ්පාදනයට වැඩි කාලයක් ගතවේ.
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content