කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා සුදුසු ස්ථානයක් තොරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
- අමු ද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි ප්‍රදේශයක් හා ස්ථානයක් වීම.
- අමු ද්‍රව්‍ය හා නිෂ්පාදනය කල කොම්පෝස්ට් පහසුවෙන් ප්‍රවාහනය කල හැකි ස්ථානයක් වීම.
- ජලයෙන් යට නොවන ප්‍රදේශයක් වීම. ( පහත් බිමක් නොවීම )
- ජලය සපයා ගත හැකි ස්ථානයක් නොවීම.
- නිවාසවලට සමීප ස්ථානයක් නොවීම.
- ජල ප්‍රභව වලට හෝ ලිං වලට ආසන්න ස්ථානයක් නොවීම.
නිපදවන ස්ථානය සකස් කර ගැනීම
- පළමුුව භූමිය පිරිසිදු කරගන්න, ගල් කැට ඉවත්කර පොව මට්ටම් කර ගන්න. පස මතු පිට බුරුල් නම් තලා මට්ටම් කර ගත යුතුය.
- වතුර බැස යාමට කානු පද්ධතියක් සකස් කර ගන්න.
අමු ද්‍රව්‍ය සපයාගැනීම
- ප්‍රදේශයේ සුලභ කොළ වර්ග, තණ කොළ, ජලජ වල් පැළෑටි, බෝග අවශේෂ, සත්ත්ව අපද්‍රව්‍ය යනාදිය මේ සඳහා භාවිත කල හැක.
- නිපදවාගත් කොම්පොස්ට් ස්වල්පයක් ( මුහුන් ලෙස ) යෙදීම. (අමු ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000 කට මුහුන් කිලෝග්‍රෑම් 20 ක් ලෙස)
- හැකිනම් එප්පාවල රොක් පොස්පේට් එක් කරන්න. (අමු ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000 කට රොක් පොස්පේට් කිලෝග්‍රෑම් 50 ක් ලෙස)
- අමු ද්‍රව්‍ය තෙමීමට අවශ්‍ය ප්‍රමාණවත් ජලය
- වැසීමට කළු ඉටි රෙදි හෝ පොලිසැක් බෑග් හෝ වියලා ගත් පොල් අතු
නිපදවන ආකාරය
පළමු තට්ටුව
- නිපදවීමට බලාපොරොත්තුවන ගොඩේ ප්‍රමාණයට, කෝටුවකින් පොළවේ සැලැස්මක් ඇඳ ගැනීම.
- අමු ද්‍රව්‍ය වල සුලභතාවය මත ගොඩේ ප්‍රමාණය තීරණය කල යුතුය.
- අමු ද්‍රව්‍ය බහුලව ඇත්නම් ගොඩේ පළල අඩි 5-6ක් හා උපරිම දිග අඩි 14-15ක් ලෙස සලකුණු කිරීම.
- පළමුව කොළ අතු හෝ තණ කොළ රොඩු අඟල් 9 – 10 ක පමණ තට්ටුවක් බිම අතුරා ගැනීම. කොළ අතුවල මෝරපු දඬු කොටස් ගොඩේ කෙලවරෙන් අඟල් 3 – 4ක් පමණ පිටතට සිටින සේ අතුරීම.
- එසේ කිරීමෙන් පළමු පෙරලීමට පෙර එම දඬු ඉවත් කිරීමට හැකිවේ.
- කොළ හෝ කොළ අතු යටටම යෙදීමෙන් ජලය එක් රැස් වීම වැලකේ.
- පළමු තට්ටුව ලෙස සත්ත්ව පොහොර යෙදීම සුදුසු නොවේ.
දෙවන තට්ටුව
- දෙවන තට්ටුව ලෙස සත්ත්ව පොහොර හෝ පහසුවෙන් දිරාපත් වන ශාක කොටස් තැන්පත් කිරීම.
- සත්ත්ව පොහොර දෙවන තට්ටුව ලෙස භාවිතා කරන්නේ නම් තට්ටුවේ උස අඟල් 2-3 සිට අඟල් 8-9 ක් පමණ දක්වා වුවද වෙනස් කල හැක. අමු ද්‍රව්‍ය සුලභතාව මත තට්ටූවේ උස තීරණය කල හැක.
- මෙම තට්ටු දෙකෙහි භාවිතා කල අමු ද්‍රව්‍ය වල තෙතමනය ප්‍රමාණවත් නොවේ නම් ජලය එක් කිරීම.
- නිපදවාගත් කොම්පොස්ට් ස්වල්පයක් (මුහුන්) දෙවැනි තට්ටුව මතුපිට සෑම ස්ථානයකම විසුරුවා හැරීම.
- සුළු පරිමාණයේ කොම්පෝස්ට් නිපදවීමකදී මුහුන් ලෙස තම ගෙවත්තේ කුණු ගොඩෙන් ලබාගත් දිරාපත් වූ කොළ රොඩු පවා භාවිතා කල හැක.
තුන්වන තට්ටුව
- දෙවන තට්ටුව ලෙස සත්ත්ව පොහොර භාවිතා කලේ නම් තුන්වන තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කල හැක. දෙවන තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කලේ නම් තුන්වන තට්ටුව ලෙස සත්ත්ව පොහොර භාවිතා කල හැක.
- රොක් පොස්පේට් සොයාගත හැකි නම් තුන්වන තට්ටුව මතුපිටින් රොක් පොස්පේට් ස්වල්පයක් ඉසීම.
ගොඩ සැකසීම
- තුන්වැනි තට්ටුවට පසු ඉහත පරිදි ශාක කොටස් හා සත්ත්ව අපද්‍රව්‍ය නැවත තට්ටු ආකාරයට සැකසීම.
- ශාක අමු ද්‍රව්‍ය තට්ටු 2-3 කට වරක් සත්ත්ව අපද්‍රව්‍ය තට්ටුවක් යෙදීම.
- තට්ටු 2-3 කට වරක් මුහුන් ඉසීම සිදු කිරීම.
- තට්ටු 3-4 කට වරක් රොක් පොස්පේට් ඉසීම.
- මේ ආකාරයෙන් අමු ද්‍රව්‍ය භාවිතා කර අඩි 4.5 – 5ක් පමණ උස් වන සේ ගොඩ සැකසීම.
- ගොඩ සැකසීමේදී දිරීමට පහසු හා අපහසු අමු ද්‍රව්‍ය මාරුවෙන් මාරුවට ගොඩේ තැන්පත් කිරීම.
- දින 7-8 කින් ගොඩේ උස අඩු වී ඇති බව නිරීක්ෂණය කල හැකිවේ.
දිරාපත්වීම ඉක්මන් කිරීම.
- දිරාපත් වීමට අපහසු අමු ද්‍රව්‍ය ( වියලි කොළ, ලී කුඩු, පිදුරු ආදිය ) තට්ටුවක් ලෙස තැන්පත් කළ පසු ඊට උඩින් සත්ත්ව පොහොර හෝ මුහුන් යෙදීමෙන් දිරාපත් වීම ඉක්මන් වේ.
- දිරාපත් වීමට අපහසු අමු ද්‍රව්‍ය හා රාපත් වීමට පහසු අමු ද්‍රව්‍ය ගොඩේ මාරුවෙන් මාරුවට තැන්පත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
- ශාක කොටස් තට්ටු 2-3 කට වරක් සත්ත්ව පොහොර තට්ටුවක් භාවිතා කරන්න. සත්ත්ව පොහොර බහුල නොවේ නම් තුනී තට්ටුවක් ලෙස අතුරන්න.
- සත්ත්ව පොහොර වර්ග ගණනාවක් ඇති නම් ශාක කොටස් තට්ටු 2-3 කට වරක් විවිධ වර්ග ලෙස වෙන වෙනම තට්ටු ලෙස තැන්පත් කරන්න.
තෙතමනය පවත්වා ගැනීම
- කොල පැහැති කොළ වල තෙතමනය පවතින අතර ඒවා ඉක්මනින් දිරාපත් වේ.
- වියළි කොළ හෝ වියළි සත්ත්ව පොහොර භාවිතා කරන විට අවශ්‍ය පමණ ජලය යොදන්න.
- මෙලෙස විවිධ තට්ටු ලෙස ගොඩක් අඩි 4.5 -5 ක් පමණ උසට සැකසූ පසු නැවත ඩලය අවශ්‍ය පරිදි එක් කරන්න.
ගොඩ ආවරණය කිරීම
- සැකසූ ගොඩ තුලට වාතය ඇතුළුවීමට හැකි වන සේ කළු පොලිතීන් හෝ පොලිසැක් බෑග් හෝ වියලාගත් පොල්අතු මගින් වසා තබන්න.
- පොළව මට්ටමේ සිට අඟල් 6 හෝ 12 ක් පමණ උසින් ආවරණය පවත්වා ගැනීම මගින් වාතය ඇතුළුවීමට අවකාශ සැලසේ. එමගින් දිරාපත් වීම ඉක්මන් වේ.
ගොඩේ තෙතමනය පරීක්ෂා කිරීම
- දින 6-7 කට පසු වැස්ම ඉවත්කර උල්කර ගත් ලීයක් ගොඩ තුළට ඇතුලු කර, ඉවතට ගෙන එහි කෙලවර පරීක්ෂාකිරීම මගින් එහි තෙතමනය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක.
- වියළි කාලයේදී අඩු කාලාන්තරයකින් ජලය යෙදීමට සිදුවන අතර වර්ෂා කාලයේදී ජලය යෙදිය යුතු කාලාන්තරය වැඩිවේ.
- තෙතමනය අඩු නම් ලීයක් මගින් ගොඩේ මතුපිට සිදුරු කීපයක් සාදා ජලය යොදන්න.
- ජලය යෙදීමෙන් පසු ගොඩ නැවත පෙර පරිදි වසා තබන්න.
- පළමු පෙරලීම මාසයකින් පසුව පමණ සිදු කරන තෙක් මෙලෙස සතියකට වරක් තෙතමනය පරීක්ෂාකර අවශ්‍ය නම් ජලය යොදන්න.
පළමු පෙරළීම
- මාසයකට පමණ පසු ආවරණය ඉවත්කර ගොඩ හොඳින් පෙරලන්න.
- එහිදී දිරූ, නොදිරූ කොටස් හොඳින් කලවම් වනසේ පෙරලීම සිදුකරන්න.
- ගොඩ පෙරලීමේදී මුහුන් ඉසීම සිදුකර හොඳින් කලවම් කරන්න.
- එසේ පෙරලන විටදී මුහුන් එක් කිරීමක් සිදු නොකරන්නේ නම් ගොඩේ තිබූ අමුද්‍රව්‍ය අඟල් 9 ක තට්ටුවක් ලෙස තැන්පත් කර එම තට්ටුව මතුපිටට මුහුන් ඉස නැවත ගොඩ සැකසිය හැක.
- පළමු පෙරලීම සිදු කිරීමෙන් පසු පෙර පරිදිම නැවත ගොඩ වසා තබා දින 6-7 කට වරක් ගොඩේ තෙතමනය පරීක්ෂාකර අවශ්‍ය නම් ජලය එක් කල හැක.
දෙවන පෙරළීම
- ගොඩ සැකසීමෙන් මාස 2 කට පසු නැතහොත් පළමු පෙරලීමෙන් මසකට පමණ පසු ආවරණ ඉවත්කර දෙවන පෙරලීම සිදු කරනු ලැබේ.
- මෙම පෙරලීමද පළමු පෙරළීම පරිදිම සිදු කරනු ලැබේ. එහිදී ද අවශ්‍ය නම් ජලය යෙදීම සිදු කල හැක.
- මෙහිදීද පෙරළීම සිදු කරන අතර මුහුන් යෙදීම සිදු කරල හැකි අතර අවසානයේ පෙර අවස්ථාවේදී මෙන්ම ගොඩ ආවරණය කර තබනු ලැබේ.
- ඉන්පසුව පෙර පරිදිම දින 6-7 කට වරක් තෙතමනය පරීක්ෂාකර අවශ්‍ය නම් ජලය යෙදීම සිදු කල හැක.
තෙවන පෙරළීම
- ගොඩ සැකසීමෙන් මාස 3 කට පසු එනම් දෙවන පෙරළීමෙන් මසකට පසු සිදු කරනු ලැබේ.
- මෙහිදීද පළමු හා දෙවන අවස්ථාවලදී මෙන් සිදු කර ගොඩ ආවරණය කර වසා තබනු ලැබේ.
- මේ වන විට බොහෝ විට අමු ද්‍රව්‍ය දිරාපත් වී ඇති අතර නිෂ්පාදිත කොම්පෝස්ට් අවශ්‍ය විටකදී භාවිතයට යෝදාගත හැකි තත්ත්වයේ පවතී.
- තුන්වන පෙරලීමෙන් පසු කොම්පොස්ට් නිෂ්පාදනය අවසන් වූ පසු ගොඩ හොඳින් වසා තැබීම අත්‍යාවශ්‍ය වේ. එමගින් කෘමීන් එහි බිත්තර දැමීම වලකා ගත හැකිවේ.
- කොම්පොස්ට් ගොඩක් උපරිම වශයෙන් 3 වරක් පෙරළීම ප්‍රමාණවත් වේ.
- වාණිජ කොම්පෝසට් නිෂ්පාදනයේදී මෙලෙස සකසා ගත් කොම්පොස්ට් මිලිමීටර් 4ක දැලකින් හලා ඇසුරුම් කර වෙළඳපොලට ඉදිරිපත් කල හැක.
- එසේ හලාගත් පසු ඉතිරිවන රොඩු නැවත කොම්පෝස්ට් සැකසීම සඳහා සකසන ගොඩකට අමු ද්‍රව්‍ය වශයෙන් යොදාගත හැක.
නිෂ්පාදනය කල කොම්පෝස්ට් වල තෙතමනය පරීක්ෂා කිරීම.
- නිෂ්පාදනය කල කොම්පෝස්ට් ස්වල්පයක් අතට ගෙන හොඳින් මිරිකීමේදී ඇඟිලි අතරින් ජල බිඳු පිටවේ නම් එහි තෙතමනය වැඩිය.
- එසේ සිදු කරන විට ජලය පිටවීමක් සිදු නොවී දුරුවල, පහසුවෙන් කැඩෙන කොම්පෝස්ට් ගුලියක් සැකසේ නම් එම කොම්පෝස්ට් හී තෙතමනය ප්‍රශස්ථ මට්ටමක පවතී.
- වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයෙදී එහි තෙතමනය රසායනාගාර ක්‍රමවේද මගින් පරික්ෂා කිරීම වැදගත් වේ.
