කොම්පෝස්ට් නිෂ්පාදනයේදී භාවිතා කල හැකි අමු ද්‍රව්‍ය
කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමු ද්‍රව්‍ය ලෙස බහුලව ශාක කොටස් හා සත්ව අප ද්‍රව්‍ය භාවිතා කෙරේ. විවිධ ශාක කොටස් කොම්පෝස්ට් නිෂ්පාදනය කල හැකි වුවත් ඒ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ ශාක පත්‍රය. ඊට හේතුව ඒවා ඉතා ඉක්මනින් දිරාපත්වීමයි. ශාක පත්‍රවල ඉහල නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු වී තිබීම මෙයට හේතුවේ. ශාක පත්‍ර ළපටි හා කොළ පාට අවස්ථාවේ පහසුවෙන් දිරාපත් වේ. එසේම සමහර සත්ව අපද්‍රව්‍ය ද පහසුවෙන් දිරාපත් වේ. නමුත් බොයිලර් කුකුළු අප ද්‍රව්‍ය එහි අන්තර්ගත දහයියා අතුරණුව නිසා දිරා පත්වීම අපහසුවේ. කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කිරීම මගින් දිරාපත් වීමට අපහසු අමු ද්‍රව්‍ය පවා දිරාපත් කරගැනීමේ හැකියාව පවතී.
කොළ පොහොර
- කොළ පොහොර පහසුවෙන් දිරාපත්වීමේ හැකියාවක් ඇත.
- පත්‍ර හා ළපටි දඬු කොම්පෝස්ට් නිෂ්පාදනයට වඩාත් යෝග්‍ය වේ.
- වැඩි පත්‍ර ප්‍රමාණයක් ඇති ශාක කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා වඩාත් යෝග්‍ය වේ.
- විශේෂයෙන්ම රනිල කුලයේ ශාක කොම්පෝස්ට් සැකසීම සඳහා යොදාගැනීම සුදුසු වේ.
- කොළ පොහොර මගින් කොම්පෝස්ට් වලට සැලකිය යුතු නයිට්‍රජන් ප්‍රමාණයක් ලබා ගත හැකිවේ.
කොම්පෝස්ට් සැකසීමට වඩාත් සුදුසු කොළ වර්ග.
- ග්ලිරිසීඩියා
- ඉපිල් ඉපිල්
- වල් සූරියකාන්ත
- ගංසූරිය
- එරබදු
- කැකුණ
මීට අමතරව මේ සඳහා ප්‍රාදේශීය වශයෙන් සුලභ කොළ වර්ග යොදා ගත හැක.
කොළ වර්ග භාවිතා කිරීමේ වැදගත්කම
- ඉක්මනින් දිරාපත් වීමේ හැකියාව.
- වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් කොම්පෝස්ට් වලට එකතුවීම.
- කොම්පොස්ට් වල හොඳ පැහැයක් ඇති වීම.
බෝග අවශේෂ
ජලජ වල් පැළෑටි
විවිධ බෝග අවශේෂ ද සුලභතාවය මත කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා අමු ද්‍රව්‍ය ලෙස යොදාගත හැක. විශේෂයෙන් විවිධ භෝග අවශේෂ කාබනික පොහොර වශයෙන් භාවිතා කිරීමේදී, කොම්පොස්ට් නිෂ්පාදනය කර භාවිතා කිරීම වැදගත්වේ. ඊට හේතුව, බෝග අවශේෂවල දක්නට ලැබෙන විවිධ රෝග කාරක පවා විනාශවීම කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදුවන බැවිනි. බෝග අවශේෂ ලෙස පහත සඳහන් දෑ භාවිතා කල හැක.
- පිදුරු
- එළවළු බෝග අවශේෂ
- වෙළඳපොළ එළවළු අපද්‍රව්‍ය
- වෙනත් බෝග අවශේෂ
මෙම බෝග අවශේෂ දිරාපත් නොකර එක එල්ලේ වගාවට යෙදීමේදී විවිධ ගැටළු ඇති වන අතර, දිරාපත් වීමට සැලකිය යුතු කාලයක් ගතවේ. මෙවැනි බෝග අවශේෂ, බෝග වගාවට සාර්ථකව භාවිතා කල හැකි ක්‍රමය නම්, ඒවා උපයෝගී කරගැනීමෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කර භාවිතා කිරීමයි.
පිදුරු භාවිතා කිරීමේ වැදගත්කම.
- පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව.
- පොටෑසියම් පෝෂ්‍ය පදාර්ථය සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගුවීම.
- කොම්පෝස්ට් සැකසීමේදී භාවිතයේ පහසුව.
- ඒකාකාරී සංයුතියකින් යුතු වීම.
විවිධ ජලජ වල් පැළෑටි පවා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමු ද්‍රව්‍ය ලෙස භාවිතා කල හැක. සැල්වීනියා, ජපන් ජබර වැනි වල් පැළෑටි කොම්පෝස්ට් නිෂ්පාදනයේදී පහසුවෙන් දිරාපත් කර ගැනීමට හැකි බව පෙනී ගොස් ඇත. කෙසේ වෙතත් සමහර ජලජ වල් පැළෑටි ප්‍රවාහනය තහනම් බැවින් ඒවා යොදා ගෙන කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමේදී එම වැව් හෝ ජලාශ ආසන්නයේ කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම වඩාත් සුදුසු වේ.
ජලජ වල් පැළෑටි භාවිතා කිරීමේ වැදගත් කම.
- ඉක්මනින් දිරාපත් වීම.
- හොඳ පැහැයකින් හා තත්ත්වයෙන් උසස් කොම්පෝස්ට් නිෂ්පාදනය කල හැකි වීම.
- විනාශකාරී ජලජ පැළෑටි වඳ කිරීමේ හැකියාව.
- ජලාශ පිරිසිදු වීම. ආරක්ෂා වීම.
- දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පහසුවෙන් සපයා ගත හැකි වීම.
- කොම්පෝස්ට් නිෂ්පාදනයේදී බීජ හා දඬු විනාශවීම නිසා පැතිරීයාමක් සිදු නොවීම.
- කුඩා ප්‍රදේශයකින් වැඩි අමු ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගත හැකි වීම.
තණකොළ
ගොඩ බිමෙහි දක්නට ලැබෙන විවිධ තණ කොළ වර්ග කොම්පොස්ට් නිෂ්පාදනයේදී අමු ද්‍රව්‍යක් ලෙස භාවිතා කිරීම සිදු කල හැක. තණ කොළ පහසුවෙන් දිරාපත් වන ද්‍රව්‍යකි. මෙලෙස වල් පැළෑටි, කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම, වල් නාශක භාවිතය නිසා සිදුවන පරිසර හානිය අවම කිරීමටත්, ඒ සඳහා වැයවන මුදල් ඉතිරි කර ගැනීම සදහාත් හොඳ පුායෝගික විසඳුමකි. ඉතා සුලභ එහෙත් රළු තෘණ වර්ගයක් වන ගිණි තණ පවා ඉතා සාර්ථකව කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි බව පෙනී ගොස් ඇත.
තණ කොළ භාවිතයේ වැදගත්කම
- පහසුවෙන් දිරාපත් වේ.
- සැපකිය යුතු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අන්තර්ගත වේ.
- පහසුවෙන් හා ලාභදායී ලෙස සපයාගැනීමේ හැකියාව.
- පරිසරය පවිත්‍රව තබා ගැනීමට ආධාර වීම.
- කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් තෘණ බීජ හා දඬු වර්ග මැරීයාම නිසා පැතිරීමක් සිදු වීම.
තෝරාගත් කොළ පොහොර හා පිදුරු වල අන්තර්ගත ප්‍රධාන ශාක පෝෂක ප්‍රමාණය
|
ශාක වර්ග
|
නයිට්‍රජන්
|
පොස්පරස්
|
පොටෑසියම්
|
|---|---|---|---|
|
ග්ලිරිසීඩියා
|
4.2
|
0.3
|
2.1
|
|
එරබදු
|
4.0
|
0.3
|
2.4
|
|
වල් සූරියකාන්ත
|
4.7
|
0.4
|
3.2
|
|
ගංසූරිය
|
3.4
|
0.3
|
2.2
|
|
ඉපිල් ඉපිල්
|
1.5
|
0.2
|
1.2
|
|
පිදුරු
|
0.6
|
0.2
|
2.2
|
