“සුවැති දිවියක් සදහා වූ අපේ ආහාර”

“සුවැති දිවියක් සදහා වූ අපේ ආහාර”

“විපරිනාමය” සදාතනික ධර්මතාවයක්. ඉපදෙන අපි වයසට යනවා වාගේම, අපි ජීවත් වන මහ පොළවත් වයසට යනවා, වෙනස් වෙනවා. කෘත යුගයේ, ද්වාපර  යුගයේ මිනිසුන් ලෙඩ රෝග වලට ගොදුරු වූයේ නැහැ. ඔවුන්ගේ ආයූ කාලය වැඩියි. ක්‍රමිකව මේ මහ පොළවට වස එකතු වන්නත්, එනිසා මිනිසුන් රෝගී වන්නටත් පටන් ගත්තා. මිනිසුන් ලෙඩ නොවී නීරෝගීව සිටීම පිළිබඳව සොයා බැලූ සෘෂීවරු මෙය දැක, හිමාලයට රැස් වී, සාකච්ඡා කළා. නියෝජිතයෝ දෙන්නෙක් පත් කර ගනු ලැබූ අතර, මහා ශක්‍ර දේවෙින්ද්‍රයා මුණ ගැසෙන්න යාමටත් යෝජනා වූ බව ඉතිහාසයේ සදහන් වෙනවා. භාරද්වාජ හා ධන්වන්තරී කියන මෙි නියෝජිතයින් දෙදෙනා ශක්‍රයා හමු වී, මිනිසුන් ලෙඩ නොවී ඉන්නේ කොහොමද?, ලෙඩ වුනු අය සනීප වන්නේ කොහොමද?, ලෙස ප්‍රශ්ණ ඇසු බව සදහන් වෙනවා. එමෙන්ම, ආහාර නිසාත්, පාරිසරික විපර්යාස නිසාත්, ග්‍රහ මණ්ඩල වල බලපෑම නිසාත් මිනිසුන් ලෙඩ වන ආකාරය ශක්‍රයා මෙි දෙන්නාට කියලා දුන් බවත්, හොදින්  මෙි කරුණු තේරුම් ගත් ඔවුන් නැවත මනු ලොවට පැමිණ තමන්ගේ ගෝලයන්ට මෙය කියා දුන් බවත් ආයූර්වේද ඉතිහාසයේ සදහන් වෙනවා. මෙම ගෝලයින් අතුරින් චරක හා සුශ්‍රැත නම් යන අය විසින්,” චරක සංහීතාව හා සුශ්‍රැත සංහීතාව” නමින් සංහීතා ග්‍රන්ථ දෙකක් රචනා විය. පසු කාලීනව සීහ හෙළයේ, යක්ක ගෝත්‍රයට නෑකම් දැරුව බුද්ධදාස නම් රජු විසින් මෙම ග්‍රන්ථ පරිශීලනය කල අතරම, “සාරාර්ථ සංග්‍රහය” නමින් ග්‍රන්ථයක්ද රචනා කළා. එම පොතේ “අන්න පාන චිකිත්සා” නම් පර්ඡ්ඡේදයක අප කන බොන ධාන්‍ය වර්ග, ගෙඩි වර්ග, මස් වර්ග, අල වර්ග, කොළ වර්ග හා මල් වර්ග ආදීය පිළිබදව දීර්‍ඝ ලෙස කරුණු දක්වා තිබෙනවා.

බෞද්ධයෝ කුඩා කාලේ සිටම අසා දන්නා, ඉගෙන ගන්නා දෙයක් තමයි “දෙතිස් කුණප භාවනාව”. මෙහිදී “කේශා, ලෝමා, නඛ හා දන්තා” ආදී වශයෙන් අපේ ශරීරයේ කුණප තිස් දෙක (32) ක් ගැන විස්තර වෙනවා. ඒ වගේම සිංහල රාජ පරම්පරාවන්ගේ ආහාර රටා පිළිබඳව අධ්‍යනය කලහොත්, වෑංජන තිස් දෙක (32)ක්  සමග බත් පිඩු තිස් දෙක(32)ක් අනුභව කළා යැයි සඳහන් ඉතිහාසයක් ගැන අහන්න ලැබෙනවා. කුණප තිස් දෙක (32) කට හා  සමබර පෝෂණයකට ගැලපෙන්න වෑංජන තිස් දෙක (32)ක් සහිතව බත් ගුලි තිස් දෙක (32) ක කථාව ඔබටත් අපූරුවට තම තමන්ගේ ආහාර රටාවට  මනාව ගලපා ගන්න පුලුවන් වෙිවී. මෙි අනුව, “සීහ හෙළයා” තමන්ගේ කය නීරෝගීයව පවත්වා ගෙන යෑමට සමබල ආහාර රටාවක් අනුගමනය කළ ආකාරය අපූරුය.

එකල සිට මෙකල දක්වාම, ලංකා භූමිය තුල ප්‍රධාන ආහාරය බත්ය. නමුත් දේශීය සහල් වර්‍ග පිළිබඳ භාවිතය මෙි වන විටත් අභාවයට යමින් පවතී. අතීතයේ, විවිධ වර්‍ග වලට අයත් ඇල් සහල්, “මණ්ඩ, පේයා, විලේපී හා ඕධන” යන සංස්කරණ යටතේ ආහාරයට භාවිතා කර තිබෙනවා.

බත් කැඳ වතුර“මණ්ඩ” කියා හදුන්වනවා. සහල් වලට වඩා වැඩි ගුණාකාරයකින් වතුර එකතු කර පිස ගෙන, පෙරා, ගන්නා මෙම වතුර, අසනීපයෙන් ඉන්න උදවියට පහසුවෙන්ම ජීර්ණය වන, කුසගින්න හා පිපාසය නිවන දිව ඔසුවකී. “ශුද්ධ මණ්ඩ, වාටා මණ්ඩ, ලාජා මණ්ඩ හා අෂ්ඨ ගුණ මණඩ” ලෙසට ආයූර්වෙිද පොත්-පත් වල විවිධ මණ්ඩ සංස්කරණ විධි දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් සහල් වර්‍ග හා ධාන්‍ය වර්‍ග වලින් සකස් කර ගන්නා කැඳ වර්‍ග ආහාරයට ගැනීම අද සිහිපත් වන්නේ, ලෙඩෙක් වුනාම විතරයි‍. එදිනෙදා වැඩපල කරගෙන ඉන්නා විටත්, රසවත් කැඳ වර්ග “හීලට” (උදෑසන ආහාරයට) ගන්න පුරුදු වුනොත්, ධාතු පුෂ්ටිය සදමින්, බඩගින්න හා පිපාසයෙන් මිදී ශරීර බලය හොදින් පවත්වා ගෙන යන්නත් පුලුවන්.

ග්‍රන්ථ ගතව “ඕදන” ලෙස හදුන් වන්නේ, බත් වලටයි. ලංකාවෙි පුරාණ සහල් වල පවතින ගුණ ග්‍රන්ථගතව පැහැදිළිව සදහන් කර තිබෙනවා. අපි කවුරුත් දන්නා ආකාරයට, “සුවඳැල්” සහලෙන් බත් සකස් කළාම, ඇගේ තියෙන සීනි මට්ටම පාලනයට ඒක හොද බෙහෙතක්.ඒ වාගේම, ඇගේ තියෙන වස විස අයින් කරන්න “කළු හීනටි” වලට පුළුවන්.ඒකට හොදම සාක්ෂියක් තමයි සර්ප දෂ්ඨයකදි කළු හීනැටි කැඳ බීමට දීම. ”කහමාල” පිළිකා සෛල වර්ධනය වීම වළක්වන හොද දේශිය සහල් වර්ගයක්. ඒවගේම, “කුරුළු තුඩ,පච්ච පෙරුමාල්” වගේ සහල් වලින් පිස ගත් බත් අපගේ රෝග ගණනාවකට දිව්‍යමය ඖෂධයක් වෙනවා.

 

පානය සදහා ගන්නා වු වතුර පිළිබඳව පැරැණ්නන් සතු වු දැණුම පුදුම සහගතය. එනම්, වැවක වතුරත්, ගල් වලක රැදුණු වතුරත්, කුඹුරක පිහිටා ඇති ළිඳක වතුරත්, කුඹුක් ගසක් ළඟ පිහිටි ළිඳක වතුරත්, වැහි වතුරත් වැනි වතුර පවතින ස්ථානය අනුව ජලයේ ගුණ විවිධාකාර වන බව ඔවුන් දැන සිටියහ. මෙම ජලය පානය කළයුතු ආකාරය හා ලෙඩ රෝග සුව කර ගැනීමට ජලය භාවිතා කරන ආකාරය පිළිබදවත් අපේ පැරැණ්නන් දැන සිටියහ. වතුර වීදුරුවක් අරගෙන පිරිත් කර අනතුරුව, අයිස් බවට පත් කර ගෙන අන්වීක්ෂයෙන් පරීක්ෂා කළ විට, ජල අණු ඉතාම ක්‍රමවත් හැඩතල වලට සකස් වී තිබෙන බව අද අපි දැන ගත්තත්, ඒ බව අපට කලින් පරැණ්නන් විසින් දැන ගෙන සිට ඇත. උදේ පාන්දර “බ්‍රහ්ම මූර්තියෙන්” අවධි වීමෙන් පසුව, මුලින්ම පිරිසිදු සිසිල් වතුර  වීදුරුවක් බොන්න පුරුදු වන එක නීරෝගී ජීවන රටාවක් සදහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු හොද පුරුද්දක්. ඒ වාගේම අපි දෛනිකව හොදින් වතුර බීමට පුරුදු විය යුතුයි. උල්පත් ජලය බීමට හැකි වෙි නම්, ශරීරයට අවශ්‍ය ලවණ වර්ග රාශියක් ඉබෙිටම ලැබෙනු ඇත.

ජලය හැරුණු විට, “අෂ්ට පාන”අපි අදටත් වැදුම් පිදුම් කරන කොට සකස් කර ගන්නවා.අඹ, මිදි, බෙලි හා කෙසෙල් වැනි පළතුරු වලින් සකස් කර ගන්නා පානත්, කස වතුරත්, උක් යුෂත් පෙර සිටම පානයට භාවිතා කරලා තියෙනවා. අද වෙළද පොලේ ඇති කෘත්‍රීම, ඩයි වර්ග යෙදු, කල් තබා ගන්නා රසායනික සංයෝග යෙදූ,නා නා විධ බීම වර්ග පානයේ ඇබ්බැහි වීම නිසාම, කුඩා දරුවගේ පටන් වැඩිහිටි මහල්ලා වෙනකම්ම “අම්ල පිත්ත” (Gastritis) වගේ ලෙඩ රෝග වලට ගොදුරු වීම වැඩි වී තිබෙනවා. මෙි වෙනුවට අපි, අපේ දේශීය පළතුරු වලින් සකස් කර ගන්නා පාන වර්ග බීමට පුරුදු වෙන්න ඕනේ. ඉදුණු කෙසෙල් ගෙඩි ටිකක් මිරිකලා බීමක් හදා ගන්න, අහක යන නෙල්ලි වලින් බොන්න පානයක් වැනි දෙයක් හදා ගන්න නැවතත් පුරුදු වෙන්න ඕනේ.

උත්සව අවස්ථා වලට යොදා ගන්නා මුද්‍රිත පානය තල්, කිතුල් හා පොල් මල් වලින් පෙරා ගත් රා ලංකාවෙි පානය කලා කියලා, ගුත්තිල කාව්‍යයේ, උදේණිපුර සැණෙකෙළි වැණුමෙහි “පුවත් නොදැන බමණ ගතින්, නටත් අයෙක් සුරා මතින්”කියන පද වලින් පැහැදිළි වෙනවා.

අද තියෙන විෂ මත් පැන් මුළු ශරීරයම විනාශ කරලා, අඩු වයසින් දුක් විදලා මැරෙන්න මග පාදනවා. කිතුල් ගහෙන් බා ගත්ත ගමන් තෙලිජ්ජ වල ගුණ වගේම එය, කොතරම් රසවත් පානයක් දැයි දන්නේ, එය පානය කල අයම පමණයි.

ලංකා ඉතිහාසයේ ආහාර සංස්කරණ විධි අධ්‍යයනය කරන විට, ප්‍රධානතම තැනක් “තුන-පහ” ටිකට ලැබෙනවා. ඇත්තටම, තුන-පහ කියන්නේ බෙහෙතක්. සූදුරු, මාදුරු හා කොත්ත මල්ලි එක වර්ගයක් ලෙස සලකලා, ඒකට කහ, මිරිස්, ගම් මිරිස් හා අබ එක්කර ගන්නවා. එක් කරනවා කියන්නේ මෙි වර්ග එකට කරලා කොටා ගැනීම නොවෙි. වෙන වෙනම සෝදා, වියළා, අඹරා තබා ගෙන භාවිතා කිරීමයි. වෑංජනයක් පිළියෙළ කරන කොට, අවශ්‍ය පරිදි යොදා ගන්නවා. ආහාර ප්‍රියකරු ලෙස වර්ණවත් කර ගන්නත්, රස කර ගන්න වගේම ආහාරයේ විෂ නැති වෙන්නත්, හොදින් දිරවීම හා දැඩි බව ගෙන ඒමටත් මෙම තුන පහ අපට උදව් වෙනවා

චන්ද්‍ර – සූර්ය දෙදෙනාගේ එක් වීම නිසා උෂ්ණ හා ශීත ලෙස ආහාර වර්ග පිළිබඳව දැණුමක් අපට ඇත. උෂ්ණ කාල වලට ශීත ආහාරත්, ශීත කාල වලට ඌෂ්ණ ආහාරත්, ලබා ගැනීමෙි දැණුම් පද්ධතිය නැවත වර්තමානයට ද හදුන්වා දිය යුතු වෙනවා. “පඨවි, ආපෝ, තේජෝ, වායෝ හා ආකාශ” යන පංච මහා භූතයන්ගේ අඩු වැඩි වීමෙන් හට ගන්නා ආහාර වල ගුණයන් වා, පිත්, සෙම් සහිත ඇග වල් දරණ මනුෂ්‍ය ශරීරයට, ගැලපෙන ලෙස සංස්කරණය කර භාවිතා කල යුතුය. එසේම. දිරවීමෙි ක්‍රියාවලිය අරමුණු කොට ගෙන, ආහාරයේ ඇති රස හය (06) ශරීරයට රස තුල්‍ය කරන නිෂ්පාදනයක් ලෙස පරිවර්තනය කිරීමට ආහාර සංස්කරණ ක්‍රියාවලිය දායක විය යුතුය. මෙයින් අප ශරීරයේ වා, පිත්, සෙම් කුපිත නොවී පවත්වා ගත හැක.

කා හටත් ඉතා පහසුවෙන් පිළියෙළ කර ගත හැකි, පෝෂණීය ගුණයෙන් අනූන, දේශීය ආහාර වට්ටෝරු කීපයක් පහතින් දැක් වෙි.

උඳු පිට්ටුව –

අවශ්‍ය ද්‍රච්‍ය –  (පුද්ගලයින් 30 දෙනෙකු සඳහා)

  1. රතු කැකුළු හාල්          ග්‍රෑම් 250
  2. මුං ඇට                   ග්‍රෑම් 250
  3. කඩල                     ග්‍රෑම් 250
  4. කුරහන් පිටි               ග්‍රෑම් 250
  5. උඳු පිටි                   ග්‍රෑම් 250
  6. පොල් ගෙඩියක පොල්
  7. ලුණු අවශ්‍ය ප්‍රමාණය.

    සාදන ක්‍රමය – ධාන්‍ය වර්ග සියල්ල වෙන් වෙන් වශයෙන් හොදින් සෝදා, ගරා, කබලේ බැඳ, කුඩු කර කුරහන් පිටි හා උඳු පිටි සමග හොදින් මිර්‍ශ්‍ර  කරන්න. එයට අවශ්‍ය පමණ පොල් හා ලුණු මිශ්‍ර කර, පිට්ටුව සකස් කර ගන්න. අනතුරුව සාමාන්‍ය ආකාරයට පිට්ටුව වාෂ්පයෙන් තම්බා ගන්න. සාදා ගත් කිරි හොද්දක් සමග ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.

අලිගැට පේර කොළ කැඳ –

අවශ්‍ය ද්‍රච්‍ය-

  1. අලිගැට පේර දළු මිටක්,
  2. කැකුලු හාල් මිටවල් 02 ක්,
  3. ප්‍රමාණවත් තරම් පොල් කිරි,
  4. අවශ්‍ය පමණට ලුණු.

සාදන ක්‍රමය –  කැකුලු හාල් සෝදා, ගරා ප්‍රමාණවත් තරම් වතුර දමා ලිප තබන්න. අලිගැට පේර දළු කොටා,  යුෂ මිරිකා ගන්න. ඒ සමගම පොල් ද කොටා මිරිකා ගන්න. හාල් ඉදුණු පසු එයට, අලිගැට පේර දළු කොටාගත් යුෂ  හා පොල් කිරි දමා මිශ්‍ර කර, උතුරන විට ලිපෙන් බා, අවශ්‍ය පමණට ලුණු මුසු කර ගන්න.

බෙහෙත් නෙල්ලි පානය –

අවශ්‍ය ද්‍රච්‍ය – (පුද්ගලයින් 05 දෙනෙකු සඳහා)

  1. බෙහෙත් නෙල්ලි ගෙඩි ග්‍රෑම් 600,
  2. වතුර අඩු කෝප්ප 21/2,
  3. සීනි ග්‍රෑම් 30,
  4. දෙහි ගෙඩියක යුෂ හා
  5. ලුණු අවශ්‍ය පමණ.

        සාදන ක්‍රමය – වතුර භාජනයකට දමා, ලිප තබා උතුරවන්න‍. එහි ගින්දර නිවා, හොදින් සෝදා, ඇට ඉවත් කරන ලද නෙල්ලි එයට දමා වසා නිවෙන්න තබන්න. ඉන් පසු නෙල්ලි වතුර සමග සීනි, දෙහි යුෂ එකට දමා, බ්ලෙන්ඩර් කරන්න. වතුර මදි නම්, උණු වතුර ස්වල්පයක් එකතු කරන්න.

හත් මාළුව –

අවශ්‍ය ද්‍රච්‍ය – 

  1. තිබ්බටු/වම්බටු/එලබටු,
  2. කොස් ඇට,
  3. හාල් මැස්සෝ/කරවල,
  4. පළා වර්ගයක්-ගොටු කොල/කංකුං,
  5. බතල/වට්ටක්කා/කැරට්/අළු කෙසෙල්,
  6. මෑකරල්/බෝංචී.
  7. කවුපි/කඩල/මුං ඇට.

       සාදන ක්‍රමය – මෙම ද්‍රව්‍ය හත් වර්ගයෙන් එක් වර්ගය බැගින්, අවශ්‍ය ප්‍රමාණ වලට ගන්න. වර්ග හත හොදින් සෝදා, කැබලි වලට කපා, සාමාන්‍ය වෑංජනයක් පිළියෙළ කර ගන්නා ආකාරයට පිළියෙළ කර ගන්න.

තැම්බුම් හොද්ද –

අවශ්‍ය ද්‍රව්‍ය –

  1. අවශ්‍ය ප්‍රමාණයට සියඹලා හා ගොරක,
  2. ගම් මිරිස් ඇට 5/10 පමණ.
  3. අවශ්‍ය ප්‍රමාණයට සූදුදුරු,
  4. අවශ්‍ය ප්‍රමාණයට මාදුරු,
  5. කරපිංචා (නැටි වැඩිපුර),
  6. උළු හාල් ස්වල්පයක්,
  7. සුදු ළූණු බික් 05ක් පමණ,
  8. මුරුංගා පොතු,
  9. කරාඹූ නැටි 2/3 පමණ,කුරුඳු  පොතු අවශ්‍ය ප්‍රමාණයට,
  10. කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට,
  11. කොත්ත මල්ලි අවශ්‍ය ප්‍රමාණයට.

      සාදන ක්‍රමය – ඉහත ද්‍රව්‍ය හොදින් සෝදා, පිරිසිදු කර ගෙන, අවශ්‍ය ප්‍රමාණයට පිරිසිදු වතුර එක් කොට, මැටි වළදකට දමා ලිප තබා, හොදින් තම්බා ගන්න.

අනුරාධපුර සාලියපුර “ශාන්ති සෙවන” රජයේ වැඩිහිටි නිවාසයේ ආයුර්වේද මධ්‍යස්ථානයේ

ස්ථාන භාර වෛද්‍ය නිළධාරි,

නිලන්ත බී. ඕලූකරඳ.

M.Sc. In MAAI (GWAI-Kelaniya), MPM (SLIDA), BAMS (IIM-Colombo).

දුරකතන- 071-8006910/ 071-8587880 / 077-7356135

විද්‍යුත් ලිපිනය-ayurveda.asapuwashe@gmail.com

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content