රුව වඩන ආහාර පුරුදු

ස්ත්‍රි, පුරුෂ භේදයකින් තොරව අපි සියලු දෙනාම පැහැපත් සමක් ලබා ගැනීමට දක්වන්නේ දැඩි කැමැත්තකි. සම යනු, අපගේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රියයි. එසේම, අපගේ නිරෝගී භාවය පෙන්නුම් කිරීමේ ප්‍රධානතම අවයවය වන්නේත් සමයි. සම දීප්තිමත් වීම, පැහැපත් වීම, වියළි බවින් තොර වීම යනු අපගේ සමෙහි නිරෝගී බව සහ සෞඛ්‍යාරක්ෂිත බව කියන සාධකයයි. අපි ගනු ලබන ආහාර මගින් සමෙහි නිරෝගී බවට හා පැහැයට විශාල බලපෑමක් සිදු කරනු ලබයි. එම නිසා, ඒ සඳහා භාවිතා කරනු ලබන ආහාර, එළවළු, පානයන් පිළිබඳව මෙසේ විමසා බලමු.

closeup-couple-applying-face-moisturizer
food
advanced divider

නිවිති යනු එළවළුවක්, තෙම්පරාදුවක් ලෙස එසේත් නොමැති නම් පරිප්පු හෝ කොස් ඇට යොදා එළවළුවක් ලෙස පිස ගත හැකි එළවළුවකි. එහෙත්, නිවිති යුෂ පානයක් ලෙස එක්කර ගැනීමෙන් නිවිති පිස ආහාර ගැනීමට වඩා ඉතා ඉහළ පෝෂණ ගුණයක් ලබා ගත හැකිය. නිවිති අමුවෙන් සකසා යුෂ පානය කිරීමෙන් සමෙි දීප්තිය සහ පැහැය ඉතා ඉක්මනින් වර්ධනය කර ගත හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ.

එළවළුවක් ලෙසත්, පලතුරක් ලෙසත් සැලකෙන තක්කාලි ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත වේ. එසේම, විටමින් වර්ග බොහෝමයක් ද අඩංගු වේ. සම රැලි වැටීම නවතා තරුණ පෙනුම වර්ධනය කිරීමටත්, හිරු එළියෙන් පිලිස්සී සම දුර්වර්ණ වූ විට එය යථා තත්ත්වයට පත් කර ගැනීමටත් තක්කාලි වලට තිබෙන්නේ මනා හැකියාවකි. තක්කාලි පිස ආහාරයට ගැනීමේදී ආම්ලික බව ඉහල යන අතර සමට සුදුසු පරිදි පෝෂණය ලබා ගැනීමට වඩාත් සුදුසු වන්නේ පානයක් ලෙස සකසා ගැනීමය.

තවද, රුව ලස්සන කරන සම සහ සමේ පැහැය වර්ධනය කරන රසවත් පලතුරක් ලෙස ගස්ලබු හඳුන්වා දිය හැකිය. ගස්ලබුවල අඩංගු පැපේන් එන්සයිමය නිසා අපගේ සමෙහි ඇදෙන සුලු බව වැඩි කර සමට අවශ්‍ය  පෝෂණය ලබා දීම සිදුවේ. එම නිසා සම පැහැපත් කර ගැනීමට උනන්දු වන ඔබට පැපොල් යුෂ පානය කිරීම ඉතාමත් ගුණදායක වේ.

“විටමින් – සී” බහුල ලෙමන් සහ ඉඟුරු එකට එකතු කර නිතර නිතර පානයක් ලෙස සකසා ගෙන බීමෙන් සමෙි දීප්තිය වර්ධනය කර ගත හැකිය. එසේම, දොඩම් යනු ,”විටමින් – සි” බහුල පලතුරකි. ඒ මගින්. මුහුණේ සමට නව පෙනුමක් ලබා ගත හැකිය. එමෙන්ම, දොඩම් වල සමේ අලුත් සෛල නිෂ්පාදනය වේගවත් කිරීමට හැකි රසායනිකයක් අඩංගු වන නිසා මළානික නොවූ සමක් ලබා ගැනීම සඳහා උපකාරී වේ.

ගෝවා යනු, රසවත් ආහාරයක් මෙන්ම විටමින් වර්ග රැසකින් පිරිපුන් එළවළුකි. සම නිරෝගී කිරීම මෙන්ම ශරීරයේ තිබෙන විෂ නසන ගුණයෙන්ද ඉතාමත් පොහොසත්ය. මෙම විෂ නසන ගුණය නිසා සම පැහැපත් වීම හා නිරෝගී වීම සිදුවේ.

සමෙහි ඇතිවන කුරුලෑ, ලප කැළැල්, අව්වට පිළිස්සීම, අහිතකර ආලේපන නිසා සමට ඇති වූ ආසාදන ආදි සමට සිදුවන බොහොමයක් ගැටළු සඳහා හොඳම පිළිතුර ලෙස කෝමාරිකා අතිශයින්ම වැදගත් වේ. කෝමාරිකා බාහිර ආලේපනයක් ලෙස සමේ ගැල්වීමට වඩා, පානයක් ලෙස ශරීර අභ්‍යන්තරයට ලබා ගැනීමෙන්,  සම අභ්‍යන්තරයෙන් පෝෂණය කිරීම සිදුවේ. කෝමාරිකාවල අඩංගු ඔක්සින් සහ තිබරලින්  නම් සංයෝග දෙකෙහි සම පැහැපත් කිරීමේ සහ සමෙහි තෙතමනය රැකිමේ බලය අන්තර්ගත වෙි.

alovera

පිපිඤ්ඤා සතු “කැෆේයික්” අම්ලය ඇතුළු අනෙකුත් පෝෂක සංයෝගද සමේ තෙතමනය හා දීප්තිය රැක දීමට ඉටු කරන මෙහෙය විශාලය. ඒ නිසාම පොත්ත ඉවත් කර ගත් පිපිඤ්ඤා ගෙඩියක් ගෙන ජලය යොදා හෝ නොයොදා “බ්ලෙන්ඩර්” කර උදෑසන පානය කිරීමෙන් ඉතා වේගයෙන් සමේ පැහැය වර්ධනය කර ගත හැකිය. පිපිඤ්ඤා වල තිබෙන ස්වභාවික රසවත් බව ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් වන නිසා ලුණු හෝ සීනි එම පානයට එකතු නොකළ යුතුය.

වර්තමානයේ අපි සම පැහැපත් කර ගැනීම සඳහා “බිලීචින්” අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීම සිදු කරයි. එහෙත් අර්තාපල් වල ස්වභාවිකවම “බ්ලීචින්” අඩංගු වන නිසා අර්තාපල් ආහාරයට ගැනීමෙන් සම පැහැපත් කිරීමට අවශ්‍ය “බ්ලීචින්” පහසුවෙන් ලබා ගත හැකිය. අර්තාපල් ආහාරයට ගන්නා ගමන්ම, අමු අර්තාපල් පෙති මුහුණ මත තබාගෙන සිට මුහුණ සෙමින් මසාජ් කිරීමට පුළුවන් නම්, ඒ මගින් මුහුණේ තිබෙන අඳුරු ලප කැළැල් ඉවත් කර ගෙන මුහුණට නව දීප්තියක් ලබා ගත හැකි වේ.

“කැරට් කෑවම සුදු වෙනවා”, කියන ජනප්‍රිය කියමන අපි අසා තිබේ. සම සුදු වීමට බලපානු ලබන “විටමින් සී” සහ “කැරොටින්” යන පෝෂණ සංඝටක දෙක  කැරට්වල අඩංගු වේ. එම සංඝටක දෙක සම පැහැපත් වීමට සුවිශාල කාර්යක් ඉටු කරනු ලබයි. කැරට් “බ්ලෙන්ඩර්” කර පානය කිරීම වඩාත්ම ගුණදායක වේ. එසේම බීට්රූට් යනු සම ඇතුළතටම ගමන් කර සම පිරිසුදු කළ හැකි පිරිසිදුකාරකයකි. එසේම යකඩ ඇතුළු විටමින් රාශියකින් පොහොසත් ආහාරයකි. මේවායින් රුධිර සංසරණය ක්‍රමවත්ව වෙි. රුධිර සංසරණය ක්‍රමවත් වීමෙන් අභ්‍යන්තරවත් නීරෝගී බවට පත්වන නිසා සම දීප්තිමත් වීම සිදුවේ. “බ්ලෙන්ඩර්” කර යුෂ ලෙස පානය කිරීම වඩාත් සුදුසුය. බීමක් ලෙස මෙන්ම පැක් එකක් ලෙස මුහුණට භාවිතා කිරීමත් වඩාත් යෝග්‍ය වේ.

දෙළුම් යනු පළතුරු අතර පෝෂ්‍ය ගුණය ඉහළ පලතුරකි. එහි අඩංගු “විටමින් සී”, එන්සයිම සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරක මගින් සම පැහැපත් කරනු ලබන අතර, සමේ උෂ්ණත්වය පාලනයට මනා පිටුවහලක් ලබා දේ. කුරුලෑ සහ අඳුරු ලප ඇතිවීම පාලනය කර දීප්තිමත් වූ සමක් ලබා දීම සිදුවේ. කැල්සියම් අඩංගු මී කිරි වලටද  අපගේ සම පැහැපත් කිරීමේ සහ සමෙහි තෙතමනය අවශ්‍ය අයුරින් පවත්වා ගත හැකිය. එහි අඩංගු “ලැක්ටික් ඇසිඩ්” මගින් සමට නව පෙනුමක් ලබාගත හැකිය.

vector-nutrition-facts-pomegranate-white-plate-eps-58098997

අලිගැටපේරවල අඩංගු “බයොටින්”, “විටමින් ඊ” සම ස්වභාවිකව ආරක්ෂා කරයි. මෙහි අඩංගු මේද අම්ල මගින් සමේ වියළි බව නැති කරයි. අලිගැටපේර ආහාරයට ගැනීමෙන් හෝ සම මත ආලේප කිරීමෙන් දීප්තිමත් සමක් ඇතිවෙි. කෙසෙල් වලද විශාල පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු නිසා සමේ තෙතමනය ආරක්ෂා කර සමේ වියළි බව නැති කරයි. මෙහි සමට යෝග්‍ය වන විටමින් ඒ, ඊ වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු නිසා සම රැලි වැටීම, සුදුමැලි වීම අඩු කර සම පිරිසිදු කිරීම සිදු වේ. කුඩා මාළු වල අඩංගු “ඔමේගා -3” සමට ඉතා වැදගත් මේද අම්ලයකි. එසේම,  මෙම මාළු වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ සමස්ත ශරීරයේම නිරෝගී භාවයට හේතු වේ. එසේම, මේ තුලින් අපට පැහැපත්, දිදුළන සමක් ලබා දේ. විශේෂයෙන්ම පොඩි මාළු, කුඩා කටු සහිත මාළු හිරු එළියෙන් සම ආරක්ෂා කිරීමට හා නිරෝගී සමක් සඳහා වැදගත් වේ.

පොදුවේ ගත් කල ඇට වර්ග සම පෝෂණය කරනු ලබන පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙි. සූරියකාන්ත බීජ ඒ සඳහා හොඳම තේරීමක් වෙි. එමගින් සමට ඉහළ පෝෂණයක් ලැබේ.

ශාකමය ප්‍රෝටීන ප්‍රභවයන් අතර හොඳ ප්‍රෝටීන සැපයුමක් ලබා ගත හැකි ආහාරයක් ලෙස මුං ඇට හදුන්වා දිය හැකිය. ශ්‍රී ලාංකිකයන් සිය ආහාර සකසා ගැනීමේ දී සුලභ ලෙස මුං ඇට භාවිතා කරනු ලබයි. මුංඇට ග්රෑම් සීයයක්(100g) ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය “විටමින් ඒ” වලින් සීයට දෙකක් (2%) ද “විටමින් සී” වලින් සියට අටක් (8%) ද කැල්සීයම් වලින් සියට දහතුනක් (13%) හා යකඩ වලින් සියයට තිස් හතක් (37%) ලබා ගත හැකිය. ඒ අයුරින් මුං ඇට වල අඩංගු ශාක පෝෂක ශරීරයේ “කොලජන්”, “ඉලාස්ටික්”, “හයලුරොන්ක් අම්ලය” වැනි දේ නිපදවීම උත්තේජනය කරන අතර, එමගින් වඩා තරුණ, සෞඛ්‍යමත් සමක් ලබා ගත හැකි වේ.

උතුරු ඇමරිකාවට ආවේණික වුවත් ලොව පුරා ප්‍රසිද්ධ වට්ටක්කා අපි අතර සුලබව භාවිතා වන එළවළුකි. දෛනික “විටමින් ඒ” අවශ්‍යතාවයෙන් සියයට දෙසිය හතළිස් පහක් (245%) අඩංගු වන මෙහි “විටමින් ඩී”, “විටමින් ඊ”, “විටමින් බී”, යකඩ ආදිය බහුල ලෙසට අඩංගු වන නිසා සෞඛ්‍යමය වාසි රැසක් අත්කර ගත හැකිය. වට්ටක්කාවල අඩංගු “කැරොටිනොයිඩ්” වට්ටක්කා පිසු පසු ස්වභාවික අව් කණ්නාඩියක් මෙන් ක්‍රියා කිරීමට පටන් ගනී. එහිදී පාරජම්බුල කිරණ මඟින් සමට වන හානිය ආරක්ෂා කිරීමට සුවිශාල මෙහෙයක් ඉටු කරනු ලබයි.

වර්තමානය වන විට බොහෝ දෙනෙකු නොසලකා හරින මෙන්ම වැඩි දෙනෙකුට අමතකව ගොස් ඇති ලාවුළු පෝෂණයෙන් ඉතා ඉහළ පලතුරකි. “විටමින් ඒ” හා“විටමින් බී” බහුල ලෙස අඩංගු වන මෙහි අනෙක් කහ පාට පලතුරුවල මෙන් “බීටා කැරොටින්” අඩංගු වේ. එම නිසා පැහැපත් සමක අයිතිය ලබන්නට කැමැති ඔබ ආහාරයට ගත යුතුම පළතුරක් ලෙස ලාවුළු හැදින්විය හැකිය.

 

canistel

“බීටා කැරොටින්” යනු, ශාකවල දක්නට ලැබෙන පෝෂකයකි. එය “ප්‍රෝවිටමින් ඒ” ලෙස ක්‍රියා කරයි. එයින් අදහස් කරනු ලබන්නේ එය ශරීරයේ “විටමින් ඒ” බවට පරිවර්තනය වන බවයි. “බීටා කැරොටින්” බතල වල දක්නට ලැබෙන අතර, එය සම නිරෝගීව තැබීමට උපකාරීවෙි. හිරු රශ්මියෙන් සම ආරක්ෂා කිරීමට, සමේ වියළි බව දුරු කිරීමට හා තෙතමනය රැකදීම මෙන්ම සිත්ගන්නා සුළු ඉතාමත් අලංකාර සමක් උරුම කර ගැනීමට ද හැකි වේ. බතල මෙන්ම බෙල්පේපර් ද “බීටා කැරොටින්” වල  ප්‍රභල ප්‍රභවයක් වන අතර, එමගින් සම ශක්තිමත් වීම සහ සම රැලි වැටීම වළක්වාලයි. එසේම. බ්‍රොකලිද සමෙි සෞඛ්‍යයට වැදගත් වන සින්ක්, “විටමින් ඒ සහ සී” වලින් පොහොසත්ය. ඒ සමඟින් සම හිරු රශ්මියෙන් ආරක්ෂා කිරීම හා තෙතමනය රැක දෙමින් සම රැලි වැටීම අවම කරනු ලබයි. මෙම ආරක්ෂාව සැපයීමට ප්‍රමුඛ වන්නේ බ්‍රොකලි වල අඩංගු  “සල්ෆෝරාපේන්” මගින්ය.

දිව්‍ය මහා ඖෂධ ලෙස හඳුන්වනු ලබන ගොටුකොළ හෙළ වෙදකමේදී භාවිතා කරනු ලබන්නේ හීං ගොටුකොළයි. ආහාරයක් ලෙස හා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි විටමින්, කැල්සියම්, පොස්පරස් යකඩ හා කැරොටින් ද ඉතා ඉහළ මට්ටමක පවතී. පවතින පෝෂණ ගුණය නිසා සමේ රෝග සුවපත් කොට තරුණ බව රැක දීමේ හැකියාවෙන් යුක්ත වේ.

අනුරාධපුර සාලියපුර “ශාන්ති සෙවන” රජයේ වැඩිහිටි නිවාසයේ ආයුර්වේද මධ්‍යස්ථානයේ

ස්ථාන භාර වෛද්‍ය නිළධාරි,

නිලන්ත බී. ඕලූකරඳ.

M.Sc. In MAAI (GWAI-Kelaniya), MPM (SLIDA), BAMS (IIM-Colombo).

දුරකතන- 071-8006910/ 071-8587880 / 077-7356135

විද්‍යුත් ලිපිනය-ayurveda.asapuwashe@gmail.com

(2022 සැප්තැම්බර් 11 වන ඉරිදා දින නිකුත් වු අරුණ පුවත් පතේ, “ ආයුෂ් ” අතිරේකයේ කාර්‍තෘ විසින් පළ කරන ලද ලිපිය ඇසුරිණි.)

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content