දේශීය චිකිත්සාව හෙවත් හෙළ වෙදකම
මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන් ලොව පුරා විවිධ රටවල ඒ ඒ රටට ආවේණික වෛද්‍ය ක්‍රම බිහිවී විකාශනය වී ඇත. එසේම විවිධ රටවල වෛද්‍ය ක්‍රම සංකලනය වීමෙන් නව වෛද්‍ය ක්‍රම සම්ප්‍රදායන් ද බිහිවීමට හේතුවී ඇත. භාරතීය ආයුර්වේදයට තරමක් දුරට සමානකම් දරණ එහෙත් හෙළ දිව නිර්මාණය වී විකාශනය වූ වෛද්‍ය ක්‍රමය දේශීය චිකිත්සාව, හෙළ වෙදකම හෝ පාරම්පරික වෙදකම ලෙස හඳුන්වයි. දේශීය චිකිත්සාවේ ආරම්භය කෙසේ සිදුවුණිද යන්න නිශ්චිතව පැවසිය හැකි නොවූවද ඉපැරණි මූලාශ්‍රවලට අනුව භාරතයේ හිමාල අඩවියෙහි පැවති සෘෂි සම්මේලනය සඳහා හෙළ දිව නියෝජනය කරමින් ත්‍රිවේද පරප්‍රාප්ත පුලස්ථි සෘෂි වරයා සහභාගී වූ බව ප්‍රකාශ වේ.
පුලස්ති සෘෂිවර යුගයේ සිට පැවත එන හෙළ වෙදකම මුඛ පරම්පරාගතව යුග ගණනාවක් පුරාවට නොනැසී ඉදිරියට ගෙන ඒමට හෙළයන් සමත් වූහ. රාවණා රජ සමයේ ඉතා උසස් තත්ත්වයක පැවතියාවූ හෙළ වෙදකම සුවහසක් හෙළයන්ගේ රෝ බිය දුරු කිරීමටත් ප්‍රෞඩ ජාතියක් ලෙස වැජඹීමටත් මහෝපකාරී වී ඇත.
පුලස්ථි සෘෂි වරයාගේ මුණුපුරා වශයෙන් සැලකෙන රාවණ රජු හෙළ වෙදකම, ගුප්ත ශාස්ත්‍රය, රස ශාස්ත්‍රය ආදී සකල විද්‍යාවන්ගේ ප්‍රවීනයකු ලෙස සැලකෙන අතර ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතර නාඩි තන්ත්‍රය, කුමාර තන්ත්‍රය, උඩීශ තන්ත්‍රය, අර්ක ප්‍රකාශය ආදී ග්‍රන්ථ ප්‍රධාන වේ. රාවණ යුගයේ දී පුද්ගලයන්ගේ ධාරණ ශක්තිය ( මතකය හා ස්මරණය කිරීමේ හැකියාව) වැඩි දියුණු කල හැකි ඖෂධ බෙහෙවින් භාවිත වී ඇති බව ඇතැම් පුස්කොළ පොත් වල සඳහන් වේ. රාමායණය හා මහා භාරතය වැනි පැරණි වීර කාව්‍ය වල ඇති තොරතුරු සලකා බැලීමේදී පුරාතන හෙළ දිව ගණිත ශාස්ත්‍රය, ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යා ශිල්පය, උද්භීද විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගුප්ත ශාස්ත්‍රය, රස ශාස්ත්‍රය, වාරි ශිල්පය, තාරකා ශාස්ත්‍රය ආදී විවිධ දැනුම පද්ධතීන් ගෙන් පරිපූර්ණ වූ ජන කොට්ඨාශයක් විසූ බවට සාක්ෂි හමුවේ.
පසුකාලීනව ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙරට ප්‍රචලිතව ගියද හෙළ වෙදකමද ඒ හා මුසුව හෝ වෙන්ව වර්තමානය දක්වා සුරැකී පවතී. ඉන්දියානු ආභාෂයෙන් ග්‍රන්ථකරණය උගත් ඇතැම් හෙළ වෙදැදුරන් පසු කාලීනව තම පරම්පරික දැනුම පුස්කොළ පොත් ආශ්‍රයෙන් ඉදිරි අනාගත පරපුර සඳහා සුරැකිව තැබීමට කටයුතු කළහ. එයද හෙළ වෙදකම සුරැකිව අද දක්වා පැවතීමට මහෝපකාරී විය. පුරාතන යුගයේ සිට විවිධ ජාතීන්ගේ ආක්‍රමණවලට මුහුණ දීමට සිදුවීම නිසාවෙන් නිරෝගිමත්, ශක්තිමත්, ජවසම්පන්න ජනතාවක් සිටීමේ වැදගත්කම වටහාගත් හෙළ රජදරුවන් ඒ සඳහා හෙළ පාරම්පරික වෙදැදුරන්ගේ අවශ්‍යතාවය මැනවින් අවබෝධකර ගත් බැවින්, වෙදැදුරන් වෙත ගම්වර ප්‍රධානය කොට වෙද ගම්මාන පිහිටවා රෝහල්, ඔසු උයන් ඇති කොට දේශීය වෙදකම නගාසිටුවීමට කටයුතු කළහ.
සියවස් ගණනාවක් පුරාවට සුරැකිව පැවති හෙළ වෙදකමට බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සිදුවූ යුගයේ හා ඉන් පසුව ද විශාල ලෙස පහර වැදුනු අතර රාජ්‍ය අනුග්‍රහය අඩුවීමත් නැතහොත් නොලැබීයාමත් හේතුවෙන් අභාවයටම යන තත්ත්වයට පත් විය. එහෙත් හෙළ වෙදැදුරන්ගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම මත දේශීය චිකිත්සාව හෙවත් හෙළවෙදකම අද දක්වා සුරැකිව පවතී.
ශිෂ්ඨාචාරයන්ගේ දියුණුවත් සමග එම ශිෂ්ඨාචාර ආශ්‍රිතව නිර්මාණයවූ ඒවාට ආවේණික වූ දැනුම පද්ධතීන්ද දියුණු විය. හෙළ වෙදකම සම්බන්ධයෙන්ද මෙය සත්‍යකි. ඒ තුල ලොව වෙනත් කිසිදු වෛද්‍ය ක්‍රමයක් තුල දත්නට නොලැබෙන සුවිශේෂී දැනුම් සම්භාරයක් එක් රැස් වී පවතී. ඒ ඒ වෙදකමට දක්ෂතාවය දැක්වූ වෛද්‍යවරුන් විසින් පිය පුතු පරම්පරාවෙන් එම වෙදකම් ප්‍රගුණ කිරීමත්, සංවර්ධනය කිරීමත් හේතුවෙන් ඒ ඒ වෙදකම් එම පරම්පරාවට විශේෂ වීමද මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි. පසුකාලීනව එම වෙද පරම්පරා ඔවුන් ජීවත් වූ ප්‍රදේශය ආශ්‍රය කරගෙන හැඳින්වීමට ද යොමු වී ඇති අතර උදාහරණ ලෙස හොරිවිල කැඩුම් බිඳුම් වෙදකම, නඳුන්ගමුව ගෙඩි වණ වෙදකම ආදිය දැක්විය හැක.
දේශීය චිකිත්සාව හා භාරතීය ආයුර්වේදය අතර පැහැදිලිවම හඳුනාගත හැකි වෙනසක් වන්නේ දේශීය චිකිත්සාවේ භාවිතවන බොහෝ ඖෂධ භාරතීය ආයුර්වේදය තුල දක්නට නොමැති වීමත් ඇතැම් ඖෂධ සංස්කරණ හා චිකිත්සා ක්‍රම දේශීය චිකිත්සාවටම ආවේණික වීමත්ය.
දේශීය චිකිත්සාවේද ප්‍රධාන අංග අටක් හඳුනාගත හැකිවේ.
- කැඩුම් බිඳුම්
- ඇස් වෙදකම
- වාත රෝග වෙදකම
- සර්ප විෂ වෙදකම
- ගෙඩි වණ පිළිකා වෙදකම
- දැවුම් පිළිස්සුම් වෙදකම
- ජල භීතිකා වෙදකම
- චර්ම රෝග වෙදකම
මීට අමතරව පීනස් වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ( ගුප්ත ශාස්ත්‍රය ), සත්ත්ව වෙදකම, වෘක්ෂ වෙදකම ආදී වෛද්‍ය ක්‍රම ද ඇතැම් වෛද්‍ය පරම්පරා ආශ්‍රිතව දේශීය චිකිත්සාව තුල දක්නට ලැබේ.
දේශීය චිකිත්සාව සංවර්ධනය හා ප්‍රචලිත කිරීම පිළිබඳ විශාල ගෞරවයක් බුද්ධදාස රජුට ( ක්‍රි.ව. 337 – 365) හිමිවේ. භාෂා ශාස්ත්‍රය, නීති ශාස්ත්‍රය ආදියෙහි මෙන්ම ශල්‍ය චිකිත්සාව, කාය චිකිත්සාව, මනෝ චිකිත්සාව, ස්ත්‍රී රෝග චිකිත්සාව මෙන්ම සත්ත්ව චිකිත්සාව (පශූ වෛද්‍ය ශාස්ත්‍රය) ආදී වූ විවිධ වෛද්‍ය ක්‍රම පිළිබඳ මනා දැනුමක් තිබූ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයකු ලෙස එතුමා පිළිබඳව හෙළ වංශකථාවේ සඳහන් වී ඇත. එතුමාගේ පාලන කාලය තුලදී හෙළ දිව ගමක් ගමක් පාසා වෛද්‍ය මධ්‍යස්ථාන ඉදිකල බවත් ජනතාවට සේවා සැපයීම සඳහා දේශීය වෛද්‍යවරුන් එම මධ්‍යස්ථානවලට පත්කර තිබූ බවත් මහා වංශයේ සඳහන් වී ඇත. “සාරාර්ථ සංග්‍රහය” නමැති ග්‍රන්ථය එතුමා විසින් රචනා කරණ ලද බව ඉතිහාස මූලාශ්‍ර වල සඳහන් වේ.
