ශ්‍රී ලංකාවට අනන්‍ය වූ වටිනා සම්ප්‍රදායික වෛද්‍ය දැනුම් පද්ධතියක් ලෙස දේශීය චිකිත්සාව හෙවත් හෙළ වෙදකම හඳුන්වා දිය හැකිය. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වූ දේශීය ඖෂධ දැනුම, ප්‍රතිකාර ක්‍රම, ආහාර හා ජීවන රටා පිළිබඳ අවබෝධය මෙන්ම ස්වභාවික සම්පත් පිළිබඳ දැනුම ද මෙහි අන්තර්ගත වේ.

දේශීය චිකිත්සාව ශ්‍රී ලංකාවේ සමාජ හා සංස්කෘතික ඉතිහාසය සමඟ සමීපව බැඳී පවතින අතර, ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සඳහා දීර්ඝ කාලයක් පුරා භාවිත වූ දැනුම් සම්ප්‍රදායකි. එය හුදෙක් රෝගයකට ප්‍රතිකාර කිරීමකට සීමා නොවී, ශරීරය, මනස, ආහාර, ජීවන රටාව සහ පරිසරය අතර සමතුලිතතාවය පිළිබඳ පුළුල් අවබෝධයක් මත පදනම් වේ.

දේශීය චිකිත්සාවේ ඓතිහාසික පසුබිම

මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන් ලොව පුරා විවිධ රටවල ඒ ඒ රටට ආවේණික වෛද්‍ය ක්‍රම බිහිවී විකාශනය වී ඇත. එසේම විවිධ රටවල වෛද්‍ය ක්‍රම සංකලනය වීමෙන් නව වෛද්‍ය ක්‍රම සම්ප්‍රදායන් ද බිහිවීමට හේතුවී ඇත. භාරතීය ආයුර්වේදයට තරමක් දුරට සමානකම් දරණ එහෙත් හෙළ දිව නිර්මාණය වී විකාශනය වූ වෛද්‍ය ක්‍රමය දේශීය චිකිත්සාව, හෙළ වෙදකම හෝ පාරම්පරික වෙදකම ලෙස හඳුන්වයි. දේශීය චිකිත්සාවේ ආරම්භය කෙසේ සිදුවුණිද යන්න නිශ්චිතව පැවසිය හැකි නොවූවද ඉපැරණි මූලාශ්‍රවලට අනුව භාරතයේ හිමාල අඩවියෙහි පැවති සෘෂි සම්මේලනය සඳහා හෙළ දිව නියෝජනය කරමින් ත්‍රිවේද පරප්‍රාප්ත පුලස්ථි සෘෂි වරයා සහභාගී වූ බව ප්‍රකාශ වේ.

Rawana 768x768

පුලස්ති සෘෂිවර යුගයේ සිට පැවත එන හෙළ වෙදකම මුඛ පරම්පරාගතව යුග ගණනාවක් පුරාවට නොනැසී ඉදිරියට ගෙන ඒමට හෙළයන් සමත් වූහ. රාවණා රජ සමයේ ඉතා උසස් තත්ත්වයක පැවතියාවූ හෙළ වෙදකම සුවහසක් හෙළයන්ගේ රෝ බිය දුරු කිරීමටත් ප්‍රෞඩ ජාතියක් ලෙස වැජඹීමටත් මහෝපකාරී වී ඇත. 

පුලස්ථි සෘෂි වරයාගේ මුණුපුරා වශයෙන් සැලකෙන රාවණ රජු හෙළ වෙදකම, ගුප්ත ශාස්ත්‍රය, රස ශාස්ත්‍රය ආදී සකල විද්‍යාවන්ගේ ප්‍රවීනයකු ලෙස සැලකෙන අතර ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතර නාඩි තන්ත්‍රය, කුමාර තන්ත්‍රය, උඩීශ තන්ත්‍රය, අර්ක ප්‍රකාශය ආදී ග්‍රන්ථ ප්‍රධාන වේ. රාවණ යුගයේ දී පුද්ගලයන්ගේ ධාරණ ශක්තිය ( මතකය හා ස්මරණය කිරීමේ හැකියාව)  වැඩි දියුණු කල හැකි ඖෂධ බෙහෙවින් භාවිත වී ඇති බව ඇතැම් පුස්කොළ පොත් වල සඳහන් වේ. රාමායණය හා මහා භාරතය වැනි පැරණි වීර කාව්‍ය වල ඇති තොරතුරු සලකා බැලීමේදී පුරාතන හෙළ දිව ගණිත ශාස්ත්‍රය, ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යා ශිල්පය, උද්භීද විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගුප්ත ශාස්ත්‍රය, රස ශාස්ත්‍රය, වාරි ශිල්පය, තාරකා ශාස්ත්‍රය ආදී විවිධ දැනුම පද්ධතීන් ගෙන් පරිපූර්ණ වූ ජන කොට්ඨාශයක් විසූ බවට සාක්ෂි හමුවේ.

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික වෛද්‍ය දැනුමට ඉතා දිගු ඉතිහාසයක් පවතී. පුරාණ ශ්‍රී ලංකාවේ රජවරුන්ගේ සමයේ සිටම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වෛද්‍ය සේවා හා ප්‍රතිකාර ක්‍රම පැවති බවට ඓතිහාසික සාධක හමුවේ.

පුරාණ ශ්‍රී ලංකාවේ රෝහල්, ඖෂධ උද්‍යාන, ඖෂධ සැකසීමේ ස්ථාන සහ සෞඛ්‍ය සේවා ආශ්‍රිත ව්‍යුහයන් පිළිබඳ තොරතුරු පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය මූලාශ්‍රවලින් හඳුනාගත හැකිය.

දේශීය චිකිත්සාව සංවර්ධනය හා ප්‍රචලිත කිරීම පිළිබඳ විශාල ගෞරවයක් බුද්ධදාස රජුට ( ක්‍රි.ව. 337 – 365) හිමිවේ. භාෂා ශාස්ත්‍රය, නීති ශාස්ත්‍රය ආදියෙහි මෙන්ම ශල්‍ය චිකිත්සාව, කාය චිකිත්සාව, මනෝ චිකිත්සාව, ස්ත්‍රී රෝග චිකිත්සාව මෙන්ම සත්ත්ව චිකිත්සාව (පශූ වෛද්‍ය ශාස්ත්‍රය) ආදී වූ විවිධ වෛද්‍ය ක්‍රම පිළිබඳ මනා දැනුමක් තිබූ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයකු ලෙස එතුමා පිළිබඳව හෙළ වංශකථාවේ සඳහන් වී ඇත. එතුමාගේ පාලන කාලය තුලදී හෙළ දිව ගමක් ගමක් පාසා වෛද්‍ය මධ්‍යස්ථාන ඉදිකල බවත් ජනතාවට සේවා සැපයීම සඳහා දේශීය වෛද්‍යවරුන් එම මධ්‍යස්ථානවලට පත්කර තිබූ බවත් මහා වංශයේ සඳහන් වී ඇත. සාරාර්ථ සංග්‍රහය” නමැති ග්‍රන්ථය එතුමා විසින් රචනා කරණ ලද බව ඉතිහාස මූලාශ්‍ර වල සඳහන් වේ.

උතුරු මැද පළාතේ දේශීය වෛද්‍ය උරුමය

උතුරු මැද පළාත ශ්‍රී ලංකාවේ පුරාණ ශිෂ්ටාචාරයේ හා සෞඛ්‍ය උරුමයේ වැදගත් කලාපයකි. අනුරාධපුරය හා පොළොන්නරුව ආශ්‍රිත පුරාණ ශිෂ්ටාචාරය තුළ සෞඛ්‍ය සේවා, රෝහල්, ඖෂධීය ශාක සහ ජල කළමනාකරණය සම්බන්ධ දැනුමට විශේෂ ස්ථානයක් හිමි විය.

එම ඓතිහාසික උරුමය සමඟ සම්බන්ධ දේශීය වෛද්‍ය දැනුම, ඖෂධීය ශාක සම්පත් සහ පාරම්පරික චිකිත්සා සම්ප්‍රදායන් සංරක්ෂණය කිරීම උතුරු මැද පළාතේ සෞඛ්‍ය හා සංස්කෘතික උරුමය ශක්තිමත් කිරීමට දායක වේ.

පුරාණ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය සේවා පද්ධතියේ පුරාවිද්‍යාත්මක සාක්ෂි

ස්ථානයප්‍රධාන නටබුනවෛද්‍ය ඉතිහාසයේ වැදගත්කම
මිහින්තලේපුරාණ රෝහල් සංකීර්ණයරෝගී කාමර, බෙහෙත් ඔරුව, ජන්තාඝාර, ඖෂධ/ශල්‍ය සාධක
ථූපාරාමය – අනුරාධපුරපුරාණ රෝහල් නටබුන්බෙහෙත් ඔරුව සහ රෝහල් සැලැස්ම
රුවන්වැලිසෑය – අනුරාධපුරමහාවිහාර ආශ්‍රිත රෝහලනේවාසික ප්‍රතිකාර හා ඖෂධීය ප්‍රතිකාර පිළිබඳ සාධක
මැදිරිගිරියපුරාණ රෝහලමධ්‍යම අංගනය, රෝගී කාමර, බෙහෙත් ඔරුව
ආලාහන පිරිවෙන – පොළොන්නරුවපුරාණ රෝහල් සංකීර්ණයශල්‍ය උපකරණ, ඖෂධ උපකරණ, බෙහෙත් ඔරුව, සනීපාරක්ෂක පහසුකම්

උතුරු මැද පළාත ශ්‍රී ලංකාවේ දේශීය/ආයුර්වේද වෛද්‍ය ඉතිහාසය සඳහා ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක කලාපයක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් අනුරාධපුර හා පොළොන්නරුව රාජධානි සමයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම, ඖෂධ සකස් කිරීම, ශල්‍යකර්ම, ඖෂධීය ස්නාන හා සනීපාරක්ෂාව සඳහා විධිමත් පහසුකම් තිබූ බවට නටබුන් සහ ශිලා ලේඛන සාක්ෂි සපයයි.

01. මිහින්තලේ පුරාණ රෝහල් සංකීර්ණය – අනුරාධපුර දිස්ත්‍රික්කය

මිහින්තලේ පුරාණ රෝහල උතුරු මැද පළාතේ පමණක් නොව ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ ඉතාමත් වැදගත් ස්ථානයකි. එය අනුරාධපුර යුගයේ, II වන සේන රජුගේ සමයට සම්බන්ධ කර හඳුනාගෙන ඇති අතර, වර්තමානයේ එහි ගොඩනැගිලි පදනම්, රෝගී කාමර, මධ්‍යම අංගනය, ඖෂධීය ස්නාන පහසුකම් සහ බෙහෙත් ඔරුව (medicinal trough) වැනි සාධක දැකිය හැකිය.

පුරාවිද්‍යාත්මක සාධක අනුව රෝහලේ:

  • රෝගීන් පරීක්ෂා කිරීම සඳහා වෙන් වූ අවකාශ
  • නේවාසික රෝගී කාමර
  • ඖෂධීය ස්නාන සඳහා ගල් බෙහෙත් ඔරු
  • උණු ජල හා වාෂ්ප ප්‍රතිකාර සඳහා ජන්තාඝාර වැනි පහසුකම්
  • ඖෂධ සකස් කිරීමේ උපකරණ
  • ශල්‍ය උපකරණ

තිබූ බවට සාධක හමුවී ඇත.

02. අනුරාධපුර පුරාණ රෝහල් නටබුන්

අනුරාධපුර පූජා නගරය තුළද පුරාණ වෛද්‍ය සේවා පැවති බවට නටබුන් කිහිපයක් හඳුනාගෙන ඇත.

විශේෂයෙන්,

ථූපාරාමය ආශ්‍රිත පුරාණ රෝහල සහ රුවන්වැලිසෑය/මහාවිහාරය ආශ්‍රිත රෝහල් නටබුන් වැදගත් වේ. ථූපාරාමය ආශ්‍රිත ස්ථානයෙන් සොයාගත් ගල් බෙහෙත් ඔරුව පුරාණ ඖෂධීය ස්නාන ප්‍රතිකාර පිළිබඳ වැදගත් සාක්ෂියකි.

රුවන්වැලිසෑය ආශ්‍රිත රෝහලද මහාවිහාරයට සම්බන්ධ වෛද්‍ය පහසුකමක් ලෙස හඳුනාගෙන ඇති අතර, එහි බෙහෙත් ඔරුවක් සහ රෝගීන් සඳහා භාවිත කළ හැකි ගොඩනැගිලි පදනම් හඳුනාගෙන ඇත.

මෙම නටබුන් මගින් බෞද්ධ ආරාම පද්ධතිය හා සෞඛ්‍ය සේවාව අතර තිබූ සම්බන්ධතාව ද පැහැදිලි වේ.

03. මැදිරිගිරිය පුරාණ රෝහල් සංකීර්ණය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය පුරාණ නගරය ආශ්‍රිතව ඇති පුරාණ රෝහල් නටබුන් දේශීය වෛද්‍ය ඉතිහාසයේ තවත් වැදගත් සාක්ෂියකි.

මෙහි ප්‍රතිසංස්කරණය කළ ගොඩනැගිලි පදනම මධ්‍යම අංගනයක් වටා කාමර සහිත සැලැස්මක් පෙන්වයි. ඖෂධීය ප්‍රතිකාර සඳහා භාවිත කළ ගල් බෙහෙත් ඔරුවක් ද මෙහි තිබී ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය ආරක්ෂාව සඳහා වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇත.

මැදිරිගිරිය රෝහලේ කාල නිර්ණය සාමාන්‍යයෙන් අනුරාධපුර යුගයේ අවසාන අවධියට, ආසන්න වශයෙන් ක්‍රි.ව. 9–10 වන සියවස්වලට සම්බන්ධ කරයි.

04. ආලාහන පිරිවෙන පුරාණ රෝහල – පොළොන්නරුව

පොළොන්නරුවේ අලහෙන පිරිවෙන සංකීර්ණය දේශීය වෛද්‍ය ඉතිහාසය අධ්‍යයනය කිරීමට ඇති විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක ස්ථාන අතරින් එකකි.

12 වන සියවසට අයත් මෙම රෝහල් සංකීර්ණය පරාක්‍රමබාහු I රජුගේ සමය සමඟ සම්බන්ධ වේ. මෙහි:

  • රෝගීන් සඳහා නේවාසික කාමර
  • ඖෂධ සකස් කිරීමේ අවකාශ
  • ගල් බෙහෙත් ඔරුව
  • ඖෂධ ඇඹරීමේ උපකරණ
  • ශල්‍ය උපකරණ
  • ජල හා සනීපාරක්ෂක පහසුකම්

වැනි සාධක හමුවී තිබේ.

විශේෂයෙන් ශල්‍ය උපකරණ හමුවීම පුරාණ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ශල්‍යකර්මද සිදු කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂියක් සපයයි. මෙහි තිබූ බෙහෙත් ඔරුව ඖෂධීය දියර හෝ ඖෂධීය තෙල් භාවිතයෙන් සිදු කළ immersion therapy පිළිබඳ වැදගත් සාක්ෂියකි.

advanced divider

පසුකාලීනව ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙරට ප්‍රචලිතව ගියද හෙළ වෙදකමද ඒ හා මුසුව හෝ වෙන්ව වර්තමානය දක්වා සුරැකී පවතී. ඉන්දියානු ආභාෂයෙන් ග්‍රන්ථකරණය උගත් ඇතැම් හෙළ වෙදැදුරන් පසු කාලීනව තම පරම්පරික දැනුම පුස්කොළ පොත් ආශ්‍රයෙන් ඉදිරි අනාගත පරපුර සඳහා සුරැකිව තැබීමට කටයුතු කළහ. එයද හෙළ වෙදකම සුරැකිව අද දක්වා පැවතීමට මහෝපකාරී විය. පුරාතන යුගයේ සිට විවිධ ජාතීන්ගේ ආක්‍රමණවලට මුහුණ දීමට සිදුවීම නිසාවෙන් නිරෝගිමත්, ශක්තිමත්, ජවසම්පන්න  ජනතාවක් සිටීමේ වැදගත්කම වටහාගත් හෙළ රජදරුවන් ඒ සඳහා  හෙළ පාරම්පරික වෙදැදුරන්ගේ අවශ්‍යතාවය මැනවින් අවබෝධකර ගත් බැවින්, වෙදැදුරන් වෙත ගම්වර ප්‍රධානය කොට වෙද ගම්මාන පිහිටවා රෝහල්, ඔසු උයන් ඇති කොට දේශීය වෙදකම නගාසිටුවීමට කටයුතු කළහ.

සියවස් ගණනාවක් පුරාවට සුරැකිව පැවති හෙළ වෙදකමට බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සිදුවූ යුගයේ හා ඉන් පසුව ද විශාල ලෙස පහර වැදුනු අතර රාජ්‍ය අනුග්‍රහය අඩුවීමත් නැතහොත් නොලැබීයාමත් හේතුවෙන් අභාවයටම යන තත්ත්වයට පත් විය. එහෙත් හෙළ වෙදැදුරන්ගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම මත දේශීය චිකිත්සාව හෙවත් හෙළවෙදකම අද ‌දක්වා සුරැකිව පවතී.

ශිෂ්ඨාචාරයන්ගේ දියුණුවත් සමග එම ශිෂ්ඨාචාර ආශ්‍රිතව නිර්මාණයවූ ඒවාට ආවේණික වූ දැනුම පද්ධතීන්ද දියුණු විය. හෙළ වෙදකම සම්බන්ධයෙන්ද මෙය සත්‍යකි. ඒ තුල ලොව වෙනත් කිසිදු වෛද්‍ය ක්‍රමයක් තුල දත්නට නොලැබෙන සුවිශේෂී දැනුම් සම්භාරයක් එක් රැස් වී පවතී. ඒ ඒ වෙදකමට දක්ෂතාවය දැක්වූ වෛද්‍යවරුන් විසින් පිය පුතු පරම්පරාවෙන් එම වෙදකම් ප්‍රගුණ කිරීමත්, සංවර්ධනය කිරීමත් හේතුවෙන් ඒ ඒ වෙදකම් එම පරම්පරාවට විශේෂ වීමද මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි. පසුකාලීනව එම වෙද පරම්පරා ඔවුන් ජීවත් වූ ප්‍රදේශය ආශ්‍රය කරගෙන හැඳින්වීමට ද යොමු වී ඇති අතර උදාහරණ ලෙස හොරිවිල කැඩුම් බිඳුම් වෙදකම, නඳුන්ගමුව ගෙඩි වණ වෙදකම ආදිය දැක්විය හැක.

හෙළ වෙදකම යනු කුමක්ද?

ඒ අනුව “හෙළ වෙදකම” යනු ශ්‍රී ලංකාවේ දේශීය සමාජය තුළ ඓතිහාසිකව වර්ධනය වූ සාම්ප්‍රදායික වෛද්‍ය දැනුම හා චිකිත්සා ක්‍රමවල එකතුවක් ලෙස සැලකිය හැකිය.

මෙම දැනුම් පද්ධතිය තුළ රෝග හඳුනාගැනීම, රෝග නිවාරණය, ප්‍රතිකාර කිරීම, ආහාර හා පෝෂණය, ඖෂධීය ශාක භාවිතය, බාහිර ප්‍රතිකාර, ශාරීරික සත්කාර සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව වැනි විවිධ අංශ ඇතුළත් වේ.

දේශීය වෙදකමේ විශේෂත්වයක් වන්නේ ප්‍රතිකාරයේදී පුද්ගලයාගේ ශාරීරික තත්ත්වය, වයස, ආහාර පුරුදු, ජීවන රටාව, පරිසරය සහ රෝග තත්ත්වය වැනි කරුණු සලකා බැලීමට අවධානය යොමු කිරීමයි.

දේශීය චිකිත්සාව හා භාරතීය ආයුර්වේදය අතර පැහැදිලිවම හඳුනාගත හැකි වෙනසක් වන්නේ දේශීය චිකිත්සාවේ භාවිතවන බොහෝ ඖෂධ භාරතීය ආයුර්වේදය තුල දක්නට නොමැති වීමත් ඇතැම් ඖෂධ සංස්කරණ හා චිකිත්සා ක්‍රම දේශීය චිකිත්සාවටම ආවේණික වීමත්ය.

දේශීය චිකිත්සාවේද ප්‍රධාන අංග අටක් හඳුනාගත හැකිවේ.

  • කැඩුම් බිඳුම්
  • ඇස් වෙදකම
  • වාත රෝග වෙදකම
  • සර්ප විෂ වෙදකම
  • ගෙඩි වණ පිළිකා වෙදකම
  • දැවුම් පිළිස්සුම් වෙදකම
  • ජල භීතිකා වෙදකම
  • චර්ම රෝග වෙදකම

මීට අමතරව පීනස් වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ( ගුප්ත ශාස්ත්‍රය ), සත්ත්ව වෙදකම, වෘක්ෂ වෙදකම ආදී වෛද්‍ය ක්‍රම ද ඇතැම් වෛද්‍ය පරම්පරා ආශ්‍රිතව දේශීය චිකිත්සාව තුල දක්නට ලැබේ.

දේශීය චිකිත්සාවේ මූලික ලක්ෂණ

01. ස්වභාවික සම්පත් භාවිතය

දේශීය චිකිත්සාවේදී ඖෂධීය ශාක, කොළ, මුල්, පොතු, මල්, බීජ සහ අනෙකුත් ස්වභාවික ද්‍රව්‍ය පිළිබඳ පාරම්පරික දැනුම භාවිත වී ඇත.

02. පුද්ගල කේන්ද්‍රීය ප්‍රවේශය

එක් එක් පුද්ගලයාගේ ශාරීරික ස්වභාවය, වයස, ආහාර පුරුදු, ජීවන රටාව සහ රෝග තත්ත්වය අනුව ප්‍රතිකාරය වෙනස් විය හැකි බවට අවධානය යොමු කරයි.

03. රෝග නිවාරණයට අවධානය

රෝගයක් ඇති වූ පසු ප්‍රතිකාර කිරීම පමණක් නොව, සෞඛ්‍යය පවත්වා ගැනීම, නිසි ආහාර හා ජීවන රටාව පවත්වා ගැනීම සහ රෝග වළක්වා ගැනීම කෙරෙහි ද අවධානය යොමු කරයි.

04. ආහාර හා ජීවන රටාව

ආහාරය සෞඛ්‍යයේ වැදගත් අංගයක් ලෙස සලකා, පුද්ගලයාගේ තත්ත්වයට ගැළපෙන ආහාර රටාවක් පවත්වා ගැනීම පිළිබඳව දේශීය දැනුම් සම්ප්‍රදායන් තුළ විවිධ උපදෙස් දක්නට ලැබේ.

05. ශරීරය හා පරිසරය අතර සම්බන්ධතාවය

මානව සෞඛ්‍යය ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරමින්, පරිසරයට අනුකූල ජීවන රටාවක් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.

දේශීය චිකිත්සාවේ ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම

දේශීය වෛද්‍ය සම්ප්‍රදාය තුළ විවිධ රෝග හා ශාරීරික තත්ත්ව සඳහා පරම්පරාගතව භාවිත වූ ප්‍රතිකාර ක්‍රම රැසක් දක්නට ලැබේ.

🌿 ඖෂධීය ශාක හා ඖෂධ

දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා විවිධ ඖෂධීය ශාක සහ ස්වභාවික ද්‍රව්‍ය භාවිත කිරීම දේශීය චිකිත්සාවේ වැදගත් අංගයකි.

🫖 ඖෂධීය පාන හා කෂාය

විවිධ ඖෂධීය ශාක සහ ද්‍රව්‍ය යොදා සකස් කරන පාන වර්ග සහ කෂාය පාරම්පරිකව භාවිත වී ඇත.

🛁 බාහිර ප්‍රතිකාර

තෙල් ගැල්වීම, පත්තු, පොට්ටනි, ස්වේදන ආදී විවිධ බාහිර චිකිත්සා ක්‍රම දේශීය වෛද්‍ය සම්ප්‍රදාය තුළ හඳුනාගත හැකිය.

💆 ශාරීරික චිකිත්සා

ශරීරයේ විවිධ වේදනා සහ චලන ආබාධ සඳහා සම්බාහනය සහ අනෙකුත් ශාරීරික චිකිත්සා ක්‍රම භාවිත වූ බව දේශීය වෛද්‍ය සම්ප්‍රදායන්හි දැක්වේ.

🦴 කැඩුම් බිඳුම් හා අස්ථි සම්බන්ධ චිකිත්සාව

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය සම්ප්‍රදාය තුළ විශේෂයෙන් ප්‍රසිද්ධ වූ අංශයක් ලෙස කැඩුම් බිඳුම් චිකිත්සාව හඳුන්වා දිය හැකිය. අස්ථි හා සන්ධි ආශ්‍රිත තුවාල සඳහා පාරම්පරිකව භාවිත වූ ක්‍රම මෙහි දක්නට ලැබේ.

🧠 හිස හා ස්නායු ආශ්‍රිත ප්‍රතිකාර

හිස, ස්නායු සහ අනෙකුත් ශාරීරික තත්ත්ව සඳහා දේශීය වෛද්‍ය සම්ප්‍රදාය තුළ විවිධ ප්‍රතිකාර ක්‍රම පවතී.

දේශීය ඖෂධීය ශාක දැනුම

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් වන අතර, ඖෂධීය ශාක පිළිබඳ දේශීය දැනුම එහි වැදගත් සංස්කෘතික උරුමයකි.

පරම්පරාගතව භාවිත වූ ශාක පිළිබඳ දැනුම තුළ ඒවා හඳුනාගැනීම, වගා කිරීම, එකතු කිරීම, සංරක්ෂණය කිරීම සහ ඖෂධ සකස් කිරීම පිළිබඳ විවිධ තොරතුරු අන්තර්ගත වේ.

මෙම දැනුම සංරක්ෂණය කිරීම, විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සහ තිරසාර ලෙස භාවිත කිරීම වර්තමානයේ ඉතා වැදගත් වේ.

දේශීය චිකිත්සාව හා ආයුර්වේදය

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දේශීය චිකිත්සාව සහ ආයුර්වේදය අතර ඓතිහාසික හා ප්‍රායෝගික සම්බන්ධතාවයක් පවතී.

ආයුර්වේදයේ සෞඛ්‍යය, රෝග නිවාරණය සහ ප්‍රතිකාර පිළිබඳ මූලධර්ම ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය දැනුම සමඟ අන්තර්ක්‍රියා කරමින් විවිධ ප්‍රතිකාර සම්ප්‍රදායන් වර්ධනය වීමට දායක වී ඇත.

එබැවින් දේශීය චිකිත්සාව පිළිබඳව අවබෝධ කරගැනීමේදී එය ශ්‍රී ලංකාවේ පුළුල් සම්ප්‍රදායික වෛද්‍ය උරුමයේ කොටසක් ලෙස සලකා බැලීම වැදගත් වේ.

දේශීය චිකිත්සාවේ සමාජ හා සංස්කෘතික වැදගත්කම

දේශීය චිකිත්සාව වෛද්‍ය ක්‍රමයක් පමණක් නොව, ශ්‍රී ලාංකීය ජන සමාජයේ දැනුම, සංස්කෘතිය සහ පාරම්පරික ජීවන රටාව සමඟ බැඳුණු උරුමයකි.

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාවන් තුළ පරම්පරාගතව පවත්වාගෙන ආ ඖෂධීය ශාක දැනුම, ආහාර දැනුම සහ විවිධ චිකිත්සා ක්‍රම ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයේ වැදගත් කොටසක් ලෙස සැලකිය හැකිය.

මෙම දැනුම අනාගත පරපුර වෙත නිවැරදිව සම්ප්‍රේෂණය කිරීම සහ ලේඛනගත කිරීම ජාතික වගකීමකි.

දේශීය වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීම

දේශීය චිකිත්සාවේ අනාගතය සඳහා පහත කරුණු විශේෂ වැදගත්කමක් දරයි.

  • පාරම්පරික වෛද්‍ය දැනුම ලේඛනගත කිරීම
  • දේශීය ඖෂධීය ශාක සංරක්ෂණය කිරීම
  • ඖෂධීය ශාක උද්‍යාන සංවර්ධනය
  • පාරම්පරික වෛද්‍යවරුන්ගේ දැනුම අධ්‍යයනය කිරීම
  • සාම්ප්‍රදායික ඖෂධ පිළිබඳ පර්යේෂණ
  • ඖෂධවල ගුණාත්මකභාවය තහවුරු කිරීම
  • තරුණ පරපුර අතර දේශීය වෛද්‍ය දැනුම ප්‍රවර්ධනය
  • ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් දැනුම් දත්ත සමුදායන් නිර්මාණය කිරීම
  • දේශීය වෛද්‍ය උරුමය සංචාරක හා සංස්කෘතික ක්ෂේත්‍ර සමඟ සම්බන්ධ කිරීම

නූතන සෞඛ්‍ය පද්ධතිය තුළ දේශීය චිකිත්සාව

වර්තමානයේ දේශීය වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීම සමඟම එහි ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම ද වැදගත් වේ.

දේශීය චිකිත්සාවෙන් ලැබෙන පාරම්පරික දැනුම නවීන පර්යේෂණ ක්‍රමවේද සමඟ සම්බන්ධ කිරීම තුළින් ඖෂධීය ශාක, සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රම පිළිබඳ නව දැනුමක් ගොඩනැගීමට අවස්ථාව සැලසිය හැකිය.

එසේම, රෝගීන්ගේ ආරක්ෂාව, ඖෂධවල ගුණාත්මකභාවය, නිවැරදි මාත්‍රාව සහ සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් යන කරුණු සෑම විටම සැලකිල්ලට ගත යුතුය.

උතුරු මැද පළාතේ දේශීය වෛද්‍ය උරුමය

උතුරු මැද පළාත ශ්‍රී ලංකාවේ පුරාණ ශිෂ්ටාචාරයේ හා සෞඛ්‍ය උරුමයේ වැදගත් කලාපයකි. අනුරාධපුරය හා පොළොන්නරුව ආශ්‍රිත පුරාණ ශිෂ්ටාචාරය තුළ සෞඛ්‍ය සේවා, රෝහල්, ඖෂධීය ශාක සහ ජල කළමනාකරණය සම්බන්ධ දැනුමට විශේෂ ස්ථානයක් හිමි විය.

එම ඓතිහාසික උරුමය සමඟ සම්බන්ධ දේශීය වෛද්‍ය දැනුම, ඖෂධීය ශාක සම්පත් සහ පාරම්පරික චිකිත්සා සම්ප්‍රදායන් සංරක්ෂණය කිරීම උතුරු මැද පළාතේ සෞඛ්‍ය හා සංස්කෘතික උරුමය ශක්තිමත් කිරීමට දායක වේ.

අනාගතයට දේශීය චිකිත්සාව

දේශීය චිකිත්සාව අතීතයේ සිට පැවත එන දැනුම් සම්ප්‍රදායක් පමණක් නොව, අනාගත පරපුර සඳහා සංරක්ෂණය කළ යුතු වටිනා ජාතික උරුමයකි.

පාරම්පරික දැනුමට ගරු කරමින්, එය නිවැරදිව ලේඛනගත කර, විද්‍යාත්මක පර්යේෂණයට යොමු කර, ගුණාත්මක හා ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් සඳහා සුදුසු ආකාරයෙන් භාවිත කිරීම තුළින් දේශීය චිකිත්සාවේ වටිනාකම තවදුරටත් ඉහළ නැංවිය හැකිය.

“අතීතයෙන් උරුම වූ දැනුම – වර්තමානයෙන් සංරක්ෂණය කර – අනාගතයට සුරැකීම” දේශීය චිකිත්සාවේ වටිනාකම ආරක්ෂා කිරීමේ මූලික දැක්මක් විය හැකිය.

advanced divider

දැනුම, උරුමය සහ සෞඛ්‍යය

දේශීය චිකිත්සාව යනු ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත්, ජන දැනුම, සංස්කෘතිය සහ සෞඛ්‍යය එකට බැඳ තබන වටිනා උරුමයකි.

දේශීය වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීම යනු අතීතය සුරැකීම පමණක් නොව, සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සඳහා දැනුම් සම්පතක් සුරැකීමයි.