Ssd

සෘෂි සම්මේලනය

විවිධ රෝග වලට එරෙහිව මානව ශිෂ්ටාචාරයේ අරගලය පිළිබඳ අපූර්ව තොරතුරු රාශියක් වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය සොයා යාමේ දී අපට හමුවේ. ලොව ඉපැරණිතම වෛද්‍ය ක්‍රම අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වසර 5000 ක පමණ පැරණි එහෙත් පුළුල් වූ දැනුම් පද්ධතියක් පදනම් කර ගනිමින් නිර්මාණය වී ඇත.

ආයුර්වේදයේ ආරම්භය පිළිබඳ විවිධ මත පවතින අතර වඩාත් පුළුල්ව පිළිගත් මතය වන්නේ ඉපැරණි උත්තර භාරතයේ (උතුරු ඉන්දියාවේ) වේද යුගයේ දී ආරම්භ වී මුඛ පරම්පරාගතව රැගෙන විත් පශ්චාත් වේද යුගයේ වඩාත් දියුණු විද්‍යාවක් බවට පත් වූ බවයි. මේ හේතුව නිසා චතුර්වේදයේ අථර්ව වේදයෙන් ව්‍යුත්පන්න වූ දැනුම පද්ධතියක් ලෙස ආයුර්වේද‌ය හඳුන්වා දිය හැක.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දෙවිවරුන් වෙතින් භාවනායෝගී සෘෂිවරුන් හරහා මානවයාට ලැබුණු ත්‍යාගයක් ලෙසද ඇතැම් මූලාශ්‍රවල සඳහන්වී ඇත. ආදී යුගයේ උත්තර භාරතයේ හිමාල අඩවියෙහි එවකට සිටි මහා සෘෂිවරුන්ගේ සමුළුවක් පැවැත්වී ඇති බවත් (මෙම සෘෂි සම්මේලනය සඳහා හෙළ දිව නියෝජනය කරමින පුලස්ථි සෘෂි වරයා සහභාගී වූ බව ප්‍රකාශ වේ) එහි දී මිනිසා හට ඇති වන රෝග වලින් මිදී සෞඛ්‍ය සම්පන්න ව දීර්ඝායුෂ විඳීමට හැකි වන සේ ස්වභාවධර්මයේ විවිධ දායාදයන් භාවිතා කර ගත හැකි ක්‍රම පිළිබඳ දැනුම ඔවුන් අතර හුවමාරු වූ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය බිහි වූ බවත් ඉන්පසුව භාරතය පුරා පැතිර ගිය බවත් බොහෝ මූලාශ්‍රවල දක්වා ඇත.

Sdf

ධන්වන්තරී මහ සෘෂි

ධන්වන්තරී මහා සෘෂි

ධන්වන්තරී ආයුර්වේද සම්ප්‍රදාය තුළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රමුඛ ආචාර්යවරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වන නාමයකි. ඔහු පිළිබඳ සම්ප්‍රදාය දෙපැත්තකින් හඳුනාගත හැකිය — පුරාණ සාහිත්‍යයේ දැක්වෙන දේවීය ධන්වන්තරී සහ සුශ්‍රැත සංහිතාවේ දැක්වෙන කාශි රජු දිවෝදාස ධන්වන්තරී යන සම්ප්‍රදායන් ලෙසය.

සමූද්‍ර මන්ථනය හා ධන්වන්තරී

භාගවත පුරාණයේ අෂ්ටම ස්කන්ධයේ සඳහන් “ක්ෂීර සාගර මන්ථනය” (Samudra Manthan) පිළිබඳ ආඛ්‍යානයට අනුව, දෙවියන් සහ අසුරයන් අමෘතය ලබාගැනීම සඳහා මන්දර පර්වතය සහ වාසුකි නාගයා භාවිත කරමින් ක්ෂීර සාගරය මන්ථනය කළහ. එම මන්ථනය අතරතුර විවිධ දේවීය වස්තූන් හා පුද්ගලයන් මතුවූ අතර, ඒ අතර ධන්වන්තරී ද මතුවූ බව සඳහන් වේ. ඔහු අමෘතය පිරවූ භාජනයක් දරා සිටි අතර, එම ග්‍රන්ථය ඔහු ආයුර්වේදය පිළිබඳ දැනුමැති පුද්ගලයෙකු ලෙස හඳුන්වයි.

මෙම කථාව ආයුර්වේදයේ දේවීය මූලාරම්භය පිළිබඳ පුරාවෘත්තමය සම්ප්‍රදාය නිරූපණය කරන අතර, එය සෘජුවම තහවුරු කළ හැකි ඉතිහාසමය සිදුවීමක් ලෙස නොසැලකිය යුතුය.

දිවෝදාස ධන්වන්තරී හා සුශ්‍රැත සම්ප්‍රදාය

ආයුර්වේද ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී වඩාත් වැදගත් මූලාශ්‍රයක් වන සුශ්‍රැත සංහිතාවේ ආරම්භක පරිච්ඡේදයේ කාශි රජු දිවෝදාස ධන්වන්තරී ආයුර්වේදය ඉගැන්වූ ආචාර්යවරයා ලෙස දැක්වේ. සුශ්‍රැත ඇතුළු ශිෂ්‍යයන් ඔහුගෙන් වෛද්‍ය විද්‍යාව, විශේෂයෙන් ශල්‍ය චිකිත්සාව පිළිබඳ දැනුම ලබාගත් බව එහි සඳහන් වේ.

ඒ අනුව, ධන්වන්තරී නාමය ආයුර්වේදයේ දේවීය සම්ප්‍රදායත්, දිවෝදාස–සුශ්‍රැත ගුරු–ශිෂ්‍ය වෛද්‍ය සම්ප්‍රදායත් සම්බන්ධ කරන ප්‍රධාන සංකේතයක් ලෙස සැලකිය හැකිය. ජාතික ඉන්දියානු වෛද්‍ය උරුම ආයතනයේ (NIIMH) e-Samhita ද දිවෝදාස ධන්වන්තරී සුශ්‍රැතගේ ගුරුවරයා ලෙස සුශ්‍රැත සංහිතාව සම්බන්ධයෙන් සඳහන් කරයි.

ආයුර්වේදය යනු ආයුෂ පිළිබඳ විද්‍යාවයි. එබැවින් එය ජීවන දර්ශනයක් වශයෙන් ද හැඳින්විය හැක. හින්දු දර්ශනයට අනුව ධන්වන්තරී මහා සෘෂිවරයා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස දේවත්වයේ තබා සලකනු ලබයි. විශ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස ද මහා සෘෂි ධන්වන්තරී සලකනු ලබයි.

ආයුර්වේදාවතරණය

මහා බ්‍රහ්මයා විසින් තමා විසින්ම (ස්වයම්භූ ඥානයෙන්) අවබෝධකරගත් ආයුෂ පිළිබඳ ශාස්ත්‍රය, දක්ෂ (ප්‍රජාපතී) තෙමේ අනවශේෂව (කිසිවක් ඉතිරි නොකර), මහා බ්‍රහ්මයා වෙතින් ඉගෙන ගන්නා ලදී. ඒ සුවිශාල වූ දැනුම් සම්භාරය, අශ්විනී කුමාරවරුන් දෙදෙනා විසින්, දක්ෂ වෙතින් ඉගෙන ගන්නා ලදී. පසුව අශ්විනී කුමාරවරුන් කරා පැමිණි ඉන්ද්‍ර තෙමේ එම සියළු දැනුුම ඔවුන් වෙතින් ඉගෙන ගන්නා ලදී.

” ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර් ඒෂණයෝ නිරෝගීභාවයේ මූලයෝ වෙති. රෝගයෝ, නිරෝගීභාවය විසින් ලබාදුන් ආයුෂයත්, රැස්කරගත් සම්පත් යනාදියත්, පැහැරගන්නෝ වෙත්. මෙය මනුෂයන් හට මහත්වූ උවදුරක් වෙත්. මනුෂයයාගේ ඉදිරි ගමන වලක්වන්නෝ වෙත්. මෙම උවදුර කෙසේ මැඩලම්දෝ යයි සිතා බලන හිමාල වාසී සෘෂිවරුන් ධ්‍යානයට සම වැදුනහ. එකල්හී ඔවුනට අමරණීයවූද, දේවාධිපති වූ ඉන්ද්‍ර දර්ශණය වූයෙන්, ඉන්ද්‍ර (ශක්‍ර) ගෙන් මේ පිළිබඳව අසා දැනගත යුතු බවත් ඒ සඳහා ඉන්ද්‍ර හමුවට යායුතු බවටත් කීරණය කලහ. ඒ සඳහා කවුරුන් ඉන්ද්‍ර වෙත යැවීමට සුදුසු දැයි විමසූ විට උග්‍ර තපස් රකිනා භාරද්වාජ මුනි තෙමේ “මා හට මේ කාර්ය භාර දියයුතු යැයි”, ප්‍රථමයෙන් ප්‍රකාශ කල හෙයින් සෘෂිවරුන් විසින් භාරද්වාජ මුනිවරයා වෙත එම කාර්ය පවරන ලද්දාහ.”

” ශක්‍ර පුරයට පැමිණි භාරද්වාජ මුණි තෙමේ, ගින්නක් මෙන් දීප්තිමත්ව බැබලෙමින් ‌දෙවිවරුන් විසින් පිරිවරන ලදුව එහි වැඩ සිටින ඉන්ද්‍ර කරා පැමිණ ඔහු පසසමින්, ජය ආශීර්වාද කොට පහත ප්‍රකාශය කරන ලදී. ” දේවේන්ද්‍රය, යම් හෙයකින් සියළුම ජීවීන් බියගන්වන්නා වූ රෝගයෝ මිනිස් ලොවෙහි උපන්නේද, එහෙයින් එය සංසිඳුවන උපක්‍රමය මාහට යහපත් සිතින් කියා දෙන සේක්වා.” මේ වදන් ශ්‍රවණයවූ ඉන්ද්‍ර තෙමේ තම දිවැසින් බලා භාරද්වාජ මුණි‌ගේ පුළුල් නුවණ දැක ඉතා කෙටියෙන් ආයුර්වේදය ගැන මෙසේ ප්‍රකාශ කරන ලදී. “

රෝග හේතු, රෝගී නිරෝගී ලක්ෂණ හා සියළුම ඖෂධ පිළිබඳ දැනුම දෙන්නාවූ ද, රෝගී නිරෝගී දෙපක්ෂයටම සුදුසු උතුම් මාර්ගයක් වූද, සූත්‍ර තුනක් ඇත්තාවූ ද, සදාකාලිකවූ ද, ශුද්ධ වස්තුවක්වූ ද, යමක් ඇත්ද එය ආයුර්වේදය යි.

“මහා ඥාණයක් ඇති භාරද්වාජ මුණි තෙමේ කෙළවරක් හෝ පරතෙරක් නැත්තාවූ ද ස්කන්ධ තුනක් ඇත්තාවූ ද ඒ ආයුර්වේදය, ඉන්ද්‍ර වෙතින් ලැබ නිසිලෙස, නොබෝකලෙකින් අවබෝධ කළේය. එම ආයුර්වේද දැනුම මගින් නිරෝගී දිවියක් හා දීර්ඝායුෂය ලැබූ භාරද්වාජ මුණි තෙමේ, ඒ සියළු දැනුම ආයුර්වේදය හැදෑරීමට කැමතිවූ සෘෂිවරුන් වෙත ප්‍රකාශ කළහ.”

"ඉන්පසුව මනුලොවට පැමිණි භාරද්වාජ මහා සෘෂිතෙමේ එම දැනුම එපරිද්දෙන්ම අංගීරස ආදී පෙර කී සෘෂි සමූහයාටද  විධිමත් ලෙස හැදෑරවීය."

එම ඍෂිවරුන් අතුරින් පුනර්වසු සෘෂිවරයා, අග්නිවේශ, භේල, ජතුකර්ණ, පරාශර, හාරීත සහ ක්ෂාරපාණී යන ශිෂ්‍යයන් හයදෙනාට ආයුර්වේදය උගන්වා, ඔවුන් ලවා සිය නම්වලින් සංහිතා ග්‍රන්ථ රචනා කරවා ගුරුවරයා ප්‍රමුඛ අනෙකුත් ඍෂිවරුන් වෙත පිළිගැන්වීය"

"ඔවුහු බුද්ධිමත් අග්නිවේශ ආදීන් විසින් කරන ලද පුණ්‍යජනක තන්ත්‍රාර්ථයේ සූත්‍රණය ශ්‍රවණය කොට අතිශයින් සතුටු වූවාහු 'විධිමත් ලෙස රචිතය'යි අනුමත කළහ."

මේ ශිෂ්‍යයන් අතුරෙන් අග්නිවේශ ප්‍රධානය. ඔහුගේ සංහිතා ග්‍රන්ථය 'අග්නිවේශ සංහිතාව' නම් විය. අද 'චරක සංහිතාව' නමින් ප්‍රකටව ඇත්තේ එම කෘතියේ ප්‍රතිසංස්කරණය කරන ලද ග්‍රන්ථයයි. අනෙක් සංහිතාවලින් බොහොමයක් මේ වන විට දක්නට නොලැබේ.

ආයුර්වේදයේ ආරම්භය පිළිබඳ විවිධ මත පැවතිය ද තර්කානුකූල හා ප්‍රායෝගික මූලධර්ම මත පදනම් ව නිර්මාණය වී ඇති ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කාලය සමග වෙනස්වීමකට ලක් නොවන බැවින් යුග පරිවර්තන ගණනාවකට මුහුණ දෙමින් වර්තමානය දක්වා සුරැකී පැවතීමට සමත්ව ඇත.

advanced divider

ආයුර්වේද ගුරු කුල සම්ප්‍රදායන්

ආයුර්වේදයේ ප්‍රධාන ගුරු කුල සම්ප්‍රදායන් දෙකකි.

  • ආත්‍රේය සම්ප්‍රදාය – භාරද්වාජ මුනිගෙන් ආරම්භ වී පුනර්වසු ශිෂ්‍යයන් වූ අග්නිවේශ ආදීන්ගෙන් පැවත එන සම්ප්‍රදාය ‘කායචිකිත්සා සම්ප්‍රදාය’ හෙවත් ‘ආත්‍රෙය සම්ප්‍රදාය’ නමින් හැඳින්වේ.
  • ධන්වන්තරී සම්ප්‍රදාය – ‘ධන්වන්තරී සම්ප්‍රදාය’ හෙවත් ‘ශල්‍ය සම්ප්‍රදාය’ ශල්‍ය චිකිත්සාව ප්‍රමුඛත්වයෙන් නිර්මාණය වී ඇත. සුශ්‍රුත සංහිතාව එහි මූලික ග්‍රන්ථය ලෙස භාවිතා වේ. ධන්වන්තරී ලෝකයේ ශල්‍ය සම්ප්‍රදායේ නිර්මාතෘ ලෙසත්, සුශ්‍රුත ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙසත් මේ නිසා සලකනු ලබයි.

මෙම කරුණු වලින් අපට පැහැදිලි වන ප්‍රධානතම කාරණය වන්නේ, ආයුර්වේදය මේ ලෝකයේ ව්‍යාප්ත වන්නේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් සම්ප්‍රේෂණය වූ දැනුමක් ලෙස බවයි. එය ‘ගුරුකුල සම්ප්‍රදාය’ ලෙස හැඳින්වේ. ‘පාරම්පරික’ යන වචනයේ අර්ථය වන්නේද පරපුරෙන් පරපුරට පැවත එන යන්නයි. එවිට එය ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ලැබෙන්නේ සමීපයේ සිට ඉගෙනීමෙන් පසුවය.

පසුකාලීනව අගස්ත්‍ය මුණිවරයා ප්‍රමුඛව සිද්ධ වෛද්‍ය සම්ප්‍රදායද නාගර්ජුන මුණිවරයා ප්‍රමුඛව රස ශාස්ත්‍රයද නිර්මාණය වී ආයුර්වේදයට එක්වී ඇත.

advanced divider

අෂ්ඨාංග ආයුර්වේදය

කාය චිකිත්සා

කාය චිකිත්සා

කාය යන සංස්කෘත වචනයෙන් ශරීරය නැතහොත් ශරීර පරිවෘත්තීය ක්‍රියාවලි යන්න අදහස් වන අතර චිකිත්සා යන සංස්කෘත වචනයෙන් රෝග විනිශ්චය හා ප්‍රතිකාර යන්න අදහස් වේ. 

ශල්‍ය තන්ත්‍ර

ශල්‍ය තන්ත්‍ර

ශල්‍ය තන්ත්‍රය යනු සාමාන්‍ය ඖෂධීයප්‍රතිකාර මගින් සුව කිරීමට අපහසු (ව්‍රණ) තුවාල සහ රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා ශල්‍ය වෛද්‍ය විද්‍යාත්මක උපක්‍රම භාවිතය පිළිබඳ ආයුර්වේද විද්‍යාත්මක දැනුම අඩංගු වන විෂය පථයයි.

ශාලාක්‍ය තන්ත්‍ර

ශාලාක්‍ය තන්ත්‍ර

ශලාකා ආධාරයෙන් සිදු කරන චිකිත්සා යන අර්ථයෙන් ශාලාක්‍ය යන නම යෙදී ඇත. ඇස, කන, නාසය, උගුර ආදී ඌර්ධව ඡතෘගත ඉන්ද්‍රියයන්ගේ රෝග වලට ප්‍රතිකාර කිරීම පිළිබඳ දැනුම ඇතුලත් විෂය පථයයි.

කෞමාර භෘත්‍ය තන්ත්‍ර

කෞමාර භෘත්‍ය තන්ත්‍ර

ආයුර්වේදයට අනුව කුමාර යන වචනයෙන් වයස අවුරුදු 16 අඩු පිරිස ළමුන් ලෙස සැලකේ. භෘත්‍ය යන්නෙන් අදහස් වන්නේ පෝෂණය, සනීපාරක්ෂෘව හා රැකවරණය යන්නයි.

අගද තන්ත්‍ර

අගද තන්ත්‍ර

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල විවිධ විෂ ද්‍රව්‍ය (ශාක, පාර්ථිව හා ජංගම) පිළිබඳ ස්වභාව විද්‍යාත්මක පර්යේෂණය හා විමර්ශනය, ඒවායේ ඖෂධීය භාවිතය, ඒවා සම්බන්ධ රෝග සහ ප්‍රතිකාර පිළිබඳ පුළුල් විෂය පරාසයක පැතිරුණු දැනුම පද්ධතිය අගද තන්ත්‍රය ලෙස හැඳින්වේ.

භූත විද්‍යා තන්ත්‍ර

භූත විද්‍යා තන්ත්‍ර

ආයුර්වේදයෙහි මානසික හා මනෝකායික රෝග හඳුනාගැනීම, ප්‍රතිකාරකිරීම හා වැලැක්වීම පිළිබඳ විෂය පථය භූත විද්‍යා තන්ත්‍රය නම් වේ.

රසායන තන්ත්‍රය

රසායන තන්ත්‍රය

රසායන තන්ත්‍රය යනු දීර්‍ඝ හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහාත් රෝග වැලැක්වීම සඳහාත් ශරීරයේ පුනර්ජීවනය සඳහාත් භාවිතාකල හැකි විවිධ වූ ඖෂධ ද්‍රව්‍ය, ආහාර අතිරේක ලෙස භාවිත කල හැකි ද්‍රව්‍ය සංස්කරණය හා භාවිතය පිළිබඳ කරුණු ඇතුලත් විෂය පථයයි.

වාජීකරණ තන්ත්‍රය

වාජීකරණ තන්ත්‍රය

මෙම ශාඛාව පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සහ සාරවත් බව වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරයි. එය ප්‍රජනක හෝ ප්‍රවේණික ඉන්ද්‍රියයන්ගේ සෞඛ්‍ය සහ රෝග පිළිබඳව අවධානය යොමු කරයි.

advanced divider

වෘද්ධත්‍රය

චරක සංහිතාව

චරක සංහිතාව

ආයුර්වේදයේ ප්‍රධාන සම්භාව්‍ය ග්‍රන්ථයක් වන අතර, විශේෂයෙන් කාය චිකිත්සාව (Kāyachikitsā), රෝග හේතු හා රෝග විනිශ්චය, ප්‍රතිකාර, ආහාර හා ජීවන රටාව, සෞඛ්‍ය සංරක්ෂණය, ඖෂධ විද්‍යාව සහ වෛද්‍ය ආචාරධර්ම පිළිබඳ පුළුල් දැනුමක් ඉදිරිපත් කරයි.

සුශ්‍රැත සංහිතාව

සුශ්‍රැත සංහිතාව

සුශ්‍රැත සංහිතාව ආයුර්වේද සාහිත්‍යයේ ප්‍රධාන සම්භාව්‍ය ග්‍රන්ථයක් වන අතර, විශේෂයෙන් ශල්‍ය චිකිත්සාව (Śalyatantra), ශාරීර විද්‍යාව, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ විස්තරාත්මක දැනුමක් අන්තර්ගත කරයි.

අෂ්ඨාංගහෘදය  සංහිතාව

අෂ්ඨාංගහෘදය සංහිතාව

අෂ්ඨාංගහෘදය සංහිතාව (Aṣṭāṅgahṛdaya Saṃhitā) ආයුර්වේදයේ ප්‍රධාන සම්භාව්‍ය ග්‍රන්ථයක් වන අතර, චරක සංහිතාව සහ සුශ්‍රැත සංහිතාව සමඟ ආයුර්වේදයේ බෘහත්ත්‍රයී (Bṛhat Trayī) ලෙස හඳුන්වන ප්‍රධාන ග්‍රන්ථ ත්‍රිත්වයට ඇතුළත් වේ.

advanced divider

ලඝුත්‍රය

මාධව නිදාන

මාධව නිදාන

මාධව නිදානය හෙවත් රෝග විනිශ්චය පිළිබඳ ග්‍රන්ථය ආයුර්වේදයේ රෝග නිදානය සඳහා විශේෂ වැදගත්කමක් ඇති කෘතියකි. මෙහි ප්‍රධාන අවධානය යොමු වන්නේ රෝගයන්ගේ හේතු, පූර්වරූප, රූප, උපශය හා සම්ප්‍රාප්තිය වැනි කරුණු මත පදනම්ව රෝග හඳුනාගැනීම පිළිබඳවය.

ශාරංගධර සංහිතාව

ශාරංගධර සංහිතාව

ශාරංගධර සංහිතාව ආයුර්වේදයේ ඖෂධ විද්‍යාව හා ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉතා වැදගත් ග්‍රන්ථයකි. ඖෂධයක නිවැරදි මාත්‍රාව, ඖෂධ සකස් කිරීමේ ක්‍රමය සහ භාවිතය පිළිබඳව අවධානය යොමු කරන බැවින්, ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය හා භාවිතය සඳහා ශාරංගධර සංහිතාවට විශේෂ ස්ථානයක් හිමි වේ.

භාවප්‍රකාශය

භාවප්‍රකාශය

භාවප්‍රකාශය හෙවත් භාවප්‍රකාශ නිඝණ්ටුව ආයුර්වේදයේ ද්‍රව්‍යගුණ විද්‍යාව සඳහා ඉතා වැදගත් ග්‍රන්ථයකි. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු ආයුර්වේද සම්ප්‍රදාය තුළ භාවප්‍රකාශය ඖෂධීය ද්‍රව්‍ය හඳුනාගැනීම සහ ඒවායේ ගුණාංග අධ්‍යයනය කිරීම සඳහා වැදගත් මූලාශ්‍රයක් ලෙස භාවිත වේ.

advanced divider