විවිධ රෝග වලට එරෙහිව මානව ශිෂ්ටාචාරයේ අරගලය පිළිබඳ අපූර්ව තොරතුරු රාශියක් වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය සොයා යාමේ දී අපට හමුවේ. ලොව ඉපැරණිතම වෛද්‍ය ක්‍රම අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වසර 5000 ක පමණ පැරණි එහෙත් පුළුල් වූ දැනුම් පද්ධතියක් පදනම් කර ගනිමින් නිර්මාණය වී ඇත.

ආයුර්වේදයේ ආරම්භය පිළිබඳ විවිධ මත පවතින අතර වඩාත් පුළුල්ව පිළිගත් මතය වන්නේ ඉපැරණි උත්තර භාරතයේ (උතුරු ඉන්දියාවේ) වේද යුගයේ දී ආරම්භ වී මුඛ පරම්පරාගතව රැගෙන විත් පශ්චාත් වේද යුගයේ වඩාත් දියුණු විද්‍යාවක් බවට පත් වූ බවයි. මේ හේතුව නිසා චතුර්වේදයේ අථර්ව වේදයෙන් ව්‍යුත්පන්න වූ දැනුම පද්ධතියක් ලෙස ආයුර්වේද‌ය හඳුන්වා දිය හැක.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දෙවිවරුන් වෙතින් භාවනායෝගී සෘෂිවරුන් හරහා මානවයාට ලැබුණු ත්‍යාගයක් ලෙසද ඇතැම් මූලාශ්‍රවල සඳහන්වී ඇත. ආදී යුගයේ උත්තර භාරතයේ හිමාල අඩවියෙහි එවකට සිටි මහා සෘෂිවරුන්ගේ සමුළුවක් පැවැත්වී ඇති බවත් (මෙම සෘෂි සම්මේලනය සඳහා හෙළ දිව නියෝජනය කරමින පුලස්ථි සෘෂි වරයා සහභාගී වූ බව ප්‍රකාශ වේ) එහි දී මිනිසා හට ඇති වන රෝග වලින් මිදී සෞඛ්‍ය සම්පන්න ව දීර්ඝායුෂ විඳීමට හැකි වන සේ ස්වභාවධර්මයේ විවිධ දායාදයන් භාවිතා කර ගත හැකි ක්‍රම පිළිබඳ දැනුම ඔවුන් අතර හුවමාරු වූ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය බිහි වූ බවත් ඉන්පසුව භාරතය පුරා පැතිර ගිය බවත් බොහෝ මූලාශ්‍රවල දක්වා ඇත.

ආයුර්වේදාවතරණය

හා බ්‍රහ්මයා විසින් තමා විසින්ම (ස්වයම්භූ ඥානයෙන්) අවබෝධකරගත් ආයුෂ පිළිබඳ ශාස්ත්‍රය, දක්ෂ (ප්‍රජාපතී) තෙමේ අනවශේෂව (කිසිවක් ඉතිරි නොකර), මහා බ්‍රහ්මයා වෙතින් ඉගෙන ගන්නා ලදී. ඒ සුවිශාල වූ දැනුම් සම්භාරය, අශ්විනී කුමාරවරුන් දෙදෙනා විසින්, දක්ෂ වෙතින් ඉගෙන ගන්නා ලදී. පසුව අශ්විනී කුමාරවරුන් කරා පැමිණි ඉන්ද්‍ර තෙමේ එම සියළු දැනුුම ඔවුන් වෙතින් ඉගෙන ගන්නා ලදී.

” ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර් ඒෂණයෝ නිරෝගීභාවයේ මූලයෝ වෙති. රෝගයෝ, නිරෝගීභාවය විසින් ලබාදුන් ආයුෂයත්, රැස්කරගත් සම්පත් යනාදියත්, පැහැරගන්නෝ වෙත්. මෙය මනුෂයන් හට මහත්වූ උවදුරක් වෙත්. මනුෂයයාගේ ඉදිරි ගමන වලක්වන්නෝ වෙත්. මෙම උවදුර කෙසේ මැඩලම්දෝ යයි සිතා බලන හිමාල වාසී සෘෂිවරුන් ධ්‍යානයට සම වැදුනහ. එකල්හී ඔවුනට අමරණීයවූද, දේවාධිපති වූ ඉන්ද්‍ර දර්ශණය වූයෙන්, ඉන්ද්‍ර (ශක්‍ර) ගෙන් මේ පිළිබඳව අසා දැනගත යුතු බවත් ඒ සඳහා ඉන්ද්‍ර හමුවට යායුතු බවටත් කීරණය කලහ. ඒ සඳහා කවුරුන් ඉන්ද්‍ර වෙත යැවීමට සුදුසු දැයි විමසූ විට උග්‍ර තපස් රකිනා භාරද්වාජ මුනි තෙමේ “මා හට මේ කාර්ය භාර දියයුතු යැයි”, ප්‍රථමයෙන් ප්‍රකාශ කල හෙයින් සෘෂිවරුන් විසින් භාරද්වාජ මුනිවරයා වෙත එම කාර්ය පවරන ලද්දාහ.”

” ශක්‍ර පුරයට පැමිණි භාරද්වාජ මුණි තෙමේ, ගින්නක් මෙන් දීප්තිමත්ව බැබලෙමින් ‌දෙවිවරුන් විසින් පිරිවරන ලදුව එහි වැඩ සිටින ඉන්ද්‍ර කරා පැමිණ ඔහු පසසමින්, ජය ආශීර්වාද කොට පහත ප්‍රකාශය කරන ලදී. ” දේවේන්ද්‍රය, යම් හෙයකින් සියළුම ජීවීන් බියගන්වන්නා වූ රෝගයෝ මිනිස් ලොවෙහි උපන්නේද, එහෙයින් එය සංසිඳුවන උපක්‍රමය මාහට යහපත් සිතින් කියා දෙන සේක්වා.” මේ වදන් ශ්‍රවණයවූ ඉන්ද්‍ර තෙමේ තම දිවැසින් බලා භාරද්වාජ මුණි‌ගේ පුළුල් නුවණ දැක ඉතා කෙටියෙන් ආයුර්වේදය ගැන මෙසේ ප්‍රකාශ කරන ලදී. “

රෝග හේතු, රෝගී නිරෝගී ලක්ෂණ හා සියළුම ඖෂධ පිළිබඳ දැනුම දෙන්නාවූ ද, රෝගී නිරෝගී දෙපක්ෂයටම සුදුසු උතුම් මාර්ගයක් වූද, සූත්‍ර තුනක් ඇත්තාවූ ද, සදාකාලිකවූ ද, ශුද්ධ වස්තුවක්වූ ද, යමක් ඇත්ද එය ආයුර්වේදය යි.

“මහා ඥාණයක් ඇති භාරද්වාජ මුණි තෙමේ කෙළවරක් හෝ පරතෙරක් නැත්තාවූ ද ස්කන්ධ තුනක් ඇත්තාවූ ද ඒ ආයුර්වේදය, ඉන්ද්‍ර වෙතින් ලැබ නිසිලෙස, නොබෝකලෙකින් අවබෝධ කළේය. එම ආයුර්වේද දැනුම මගින් නිරෝගී දිවියක් හා දීර්ඝායුෂය ලැබූ භාරද්වාජ මුණි තෙමේ, ඒ සියළු දැනුම ආයුර්වේදය හැදෑරීමට කැමතිවූ සෘෂිවරුන් වෙත ප්‍රකාශ කළහ.”

 ආයුර්වේදයේ ආරම්භය පිළිබඳ විවිධ මත පැවතිය ද තර්කානුකූල හා ප්‍රායෝගික මූලධර්ම මත පදනම් ව නිර්මාණය වී ඇති ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කාලය සමග වෙනස්වීමකට ලක් නොවන බැවින් යුග පරිවර්තන ගණනාවකට මුහුණ දෙමින් වර්තමානය දක්වා සුරැකී පැවතීමට සමත් ව ඇත.

ආයුර්වේදය යනු ආයුෂ පිළිබඳ විද්‍යාවයි. එබැවින් එය ජීවන දර්ශනයක් වශයෙන් ද හැඳින්විය හැක. හින්දු දර්ශනයට අනුව ධන්වන්තරී මහා සෘෂිවරයා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස දේවත්වයේ තබා සලකනු ලබයි. විශ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස ද මහා සෘෂි ධන්වන්තරී සලකනු ලබයි.

අෂ්ඨාංග ආයුර්වේදය

_

ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර් ඒෂණයන්ට පුළුල් අරුතක් ලබා දෙමින් දිගුකල් ජීවත්වීමට ඉවහල් වන්නාවූ ද ස්වස්ථ රක්ෂණය හා ආතුර පරායනයට ඉවහල් වන්නාවූ ද ආයුර්වේදය ත්‍රිදෝෂ වාදය මත පදනම් වී ඇත. මෙය විග්‍රහ කිරීමේ පහසුව උදෙසා අංග අටකට බෙදා දක්වා ඇති හෙයින් අෂ්ඨාංග ආයුර්වේදය නමින් හඳුන්වනු ලබයි. ඒවා නම්,

  • 1

    කාය චිකිත්සා තන්ත්‍ර

  • 2

    ශල්‍ය තන්ත්‍ර

  • 3

    ශාලාක්‍ය තන්ත්‍ර

  • 4

    කෞමාරභෘත්‍ය තන්ත්‍ර

  • 5

    අගද තන්ත්‍ර

  • 6

    භූත විද්‍යා තන්ත්‍ර

  • 7

    රසායන තන්ත්‍ර

  • 8

    වාජීකරණ තන්ත්‍ර

කාය චිකිත්සා

කාය යන සංස්කෘත වචනයෙන් ශරීරය නැතහොත් ශරීර පරිවෘත්තීය ක්‍රියාවලි යන්න අදහස් වන අතර චිකිත්සා යන සංස්කෘත වචනයෙන් රෝග විනිශ්චය හා ප්‍රතිකාර යන්න අදහස් වේ. ඒ අනුව කාය චිකිත්සාව යනු නෑම රෝග තත්ත්වයකට අදාලවන රෝග නිදානය ( රෝගය ඇති වීමට හේතුව ), පූර්ව රූප හා රූප  ( රෝග ලක්ෂණ ), උපශය ( රෝගය හට ගැනීමට අදාල ක්‍රියාවලිය ), සම්ප්‍රාප්තිය ( රෝගය හටගැනීම ) මෙන්ම රෝග-රෝගී පරීක්ෂාව ( රෝග විනිශ්චය ) හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මෙන්ම ඒ සඳහා භාවිත කෙරෙන ඖෂධීය ශාක හා විවිධ ඖෂධ භාවිතයන් පිළිබඳ පුළුල්ව විග්‍රහ කර ඇති සම්පූර්ණ සෞඛ්‍ය විද්‍යාවක් ලෙස හැඳින්විය හැක. සරලව ගතහොත් ඖෂධීය ද්‍රව්‍ය භාවිතයෙන් ශරීර අභ්‍යන්තරයට හා බාහිරට කරනු ලබන ප්‍රතිකාර මගින් රෝග සුව කිරීම පිළිබඳ දැනුම අන්තර් ගත විෂය පථයයි.

ශල්‍ය තන්ත්‍ර

ශල්‍ය තන්ත්‍රය යනු සාමාන්‍ය ඖෂධීයප්‍රතිකාර මගින් සුව කිරීමට අපහසු (ව්‍රණ) තුවාල සහ රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා ශල්‍යවෛද්‍ය විද්‍යාත්මක උපක්‍රම භාවිතය පිළිබඳ ආයුර්වේද විද්‍යාත්මක දැනුම අඩංගු වන විෂය පථයයි. සුශ්‍රැත සෘෂිවරයා ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකේ. 

ශාලාක්‍ය තන්ත්‍ර

ශලාකා ආධාරයෙන් සිදු කරන චිකිත්සා යන අර්ථයෙන් ශාලාක්‍ය යන නම යෙදී ඇත. ඇස, කන, නාසය, උගුර ආදී ඌර්ධව ඡතෘගත ඉන්ද්‍රියයන්ගේ රෝග වලට ඖෂධීය හා ශල්‍ය චිකිත්සා ක්‍රම මගින් ප්‍රතිකාර කිරීම පිළිබඳ දැනුම ඇතුලත් විෂය පථයයි.

කෞමාර භෘත්‍ය තන්ත්‍ර

ආයුර්වේදයට අනුව කුමාර යන වචනයෙන් වයස අවුරුදු 16 අඩු පිරිස ළමුන් ලෙස සැලකේ. භෘත්‍ය යන්නෙන් අදහස් වන්නේ පෝෂණය, සනීපාරක්ෂෘව හා රැකවරණය යන්නයි. ඩිම්භ සංසේචනයේ සිට ළදරැවා බිහිවන තෙක් මවගේ  හා ගර්භයේ පෝෂණය හා ආරක්ෂාව පිළිබඳවත්, ගර්භණී හා ප්‍රසව අවධිවල දී මවට හෝ දරුවාට ඇතිවිය හැකි රෝග හා රෝග ප්‍රතිකාර පිළිබදවත්, ළදරුවා බිහිවීමෙන් පසු ඔහු හෝ ඇය අවුරුදු 16 දක්වා වන ළමා කාලය තුලදී දරැවාගේ පෝෂණය, වර්ධනය හා එම අවධිය තුල ඇතිවිය හැකි විවිධ රෝග හා එම රෝග සදහා වන ප්‍රතිකාර පිළිබඳවත් පුළුල්ව විග්‍රහ කෙරෙන විෂය පථය ලෙස කෞමාර භෘත්‍ය තන්ත්‍රය හැඳින්විය හැක.

අගද තන්ත්‍ර

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල විවිධ විෂ ද්‍රව්‍ය (ශාක, පාර්ථිව හා ජංගම) පිළිබඳ ස්වභාව විද්‍යාත්මක පර්යේෂණය හා විමර්ශනය, ඒවායේ ඖෂධීය භාවිතය, ඒවා සම්බන්ධ රෝග සහ ප්‍රතිකාර පිළිබඳ පුළුල් විෂය පරාසයක පැතිරුණු දැනුම පද්ධතිය අගද තන්ත්‍රය ලෙස හැඳින්වේ.

භූත විද්‍යා තන්ත්‍ර

ආයුර්වේදයෙහි මානසික හා මනෝකායික රෝග හඳුනාගැනීම, ප්‍රතිකාරකිරීම හා වැලැක්වීම පිළිබඳ විෂය පථය භූත විද්‍යා තන්ත්‍රය නම් වේ.

රසායන තන්ත්‍රය

රසායන තන්ත්‍රය යනු දීර්‍ඝ හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහාත් රෝග වැලැක්වීම සඳහාත් ශරීරයේ පුනර්ජීවනය සඳහාත් භාවිතාකල හැකි විවිධ වූ ඖෂධ ද්‍රව්‍ය, ආහාර අතිරේක ලෙස භාවිත කල හැකි ද්‍රව්‍ය සංස්කරණය හා භාවිතය පිළිබඳ කරුණු ඇතුලත් විෂය පථයයි. පුද්ගල ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම මගින් රෝග වලක්වා ගැනීම පිළිබඳව මෙම විෂය තුල ගැඹුරින් අධ්‍යනය කර ඇත.

වාජීකරණ තන්ත්‍රය

මෙම ශාඛාව පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සහ සාරවත් බව වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරයි. එය ප්‍රජනක හෝ ප්‍රවේණික ඉන්ද්‍රියයන්ගේ සෞඛ්‍ය සහ රෝග පිළිබඳව අවධානය යොමු කරයි. එය ලිංගිකත්වය, පුරුෂභාවය, ශක්තිය, ශක්තිය, උද්දීපනය, ශිල්පීය ක්‍රම, තන්ත්‍රය, ආහාර, ශාකසාර ඖෂධ සහ ප්‍රජනක ඉන්ද්‍රියයන් රැකබලා ගැනීමේ ප්‍රතිකාර සහ ලිංගික දුර්වලතා, වඳභාවය, නොමේරූ ශුක්‍රාණු පිටවීම ආදී වූ විවිධ රෝග ගැන කතා කරන විෂය පථයයි.

advanced divider

ආයුර්වේද ගුරු කුල සම්ප්‍රදායන්

ආයුර්වේදයේ ප්‍රධාන ගුරු කුල සම්ප්‍රදායන් දෙකකි.

  • භාරද්වාජ මුණිවරයා ප්‍රමුඛ ආත්‍රෙය ගුරු කුලය – කාය චිකිත්සාව ප්‍රමුඛත්වයෙන් නිර්මාණය වී ඇත.
  • ධන්වන්තරී ගුරු කුලය – ශල්‍ය චිකිත්සාව ප්‍රමුඛත්වයෙන් නිර්මාණය වී ඇත.

පසුකාලීනව අගස්ත්‍ය මුණිවරයා ප්‍රමුඛව සිද්ධ වෛද්‍ය සම්ප්‍රදායද නාගර්ජුන මුණිවරයා ප්‍රමුඛව රස ශාස්ත්‍රයද නිර්මාණය වී ආයුර්වේදයට එක්වී ඇත.

වෘධත්‍රය
  • 1

    චරක සන්හිතාව

  • 2

    ස්‍රශ්‍රැත සන්හිතාව

  • 3

    අශ්ඨාංග හෘදය සන්හිතාව

advanced divider

චරක – සන්හිතාව

 චරක – සංහිතාව, භෘහත්ත්‍රය යටතේ ඇතුළත් වන සම්භාව්‍ය ඉන්දියානු වෛද්‍ය විද්‍යාවේ සහ ආයුර්වේදයේ මූලික ග්‍රන්ථවලින් එකකි.

 ක්‍රි.පූ. 2 වන සියවසත් – ක්‍රි.ව. 2 වන සියවසත් අතර කාලය තුල රචනා වී සංස්කරණය වූ පුරාණ ඉන්දියානු වෛද්‍ය විද්‍යාව පිළිබඳ සවිස්තරාත්මක ග්‍රන්ථයක් වශයෙන් සැලකෙන චරක – සංහිතාව ආයුර්වේදය ලෙස හැඳින්වෙන සාම්ප්‍රදායික ඉන්දියානු වෛද්‍ය ක්‍රමයේ වෘත්තිකයෙකු වූ චරක නම් සෘෂි වරයා විසින් සිදු කරන ලද  නිර්මාණයක් වශයෙන් සැලකේ. කෙසේ වෙතත්, පැරණි ඉන්දියානු වෛද්‍ය විද්‍යාව පිළිබඳ අධ්‍යයනවලින් පෙනී යන්නේ, ආයුර්වේද විශාරද පුනර්වාසු ආත්‍රේයගේ ගෝලයන් හය දෙනාගෙන් කෙනෙකු වූ අග්නිවේෂ විසින් මෙහි මුල් පිටපත සියවස් කිහිපයකට පෙර ලියා ඇති බවයි. (අනෙක් ශ්‍රාවකයින් පස්දෙනා වූයේ භේල, ජතුකර්ණ, පරාශර, හාරිත සහ ක්‍ෂරපානි) මේ සෑම සෘෂිවරයකු විසින්ම පුණර්වසු ආත්‍රේය මුණිවරයාගෙන් උගත් දැනුමට තම පරිකල්පන ශක්තියෙන් අවබෝධ කර ගත් දැනුමද ඇතුලත් කර සංහිතා ග්‍රන්ථ රචනා කරන ලද බවත් ඒ අතරින් අග්නිවේශ විසින් රචනා කරන ලද අග්නිවේශ-සංහිතාව ගැඹුරින් සහ අන්තර්ගතයෙන් අද්විතීය වූ බවත් පසුව ඔහුගේ සිසුවකු ලෙස සැලකෙන චරක විසින් වඩාත් සවිස්තරාත්මකව සංස්රකණය කරන ලද බවත් එබැවින් එය චරක – සංහිතාව වශයෙන් හඳුන්වන ලද බවත් ඉතිහාස මූලාශ්‍ර වලට අනුව පෙනීයන කරුණු වේ.  චරක සංහිතාව පසුකාලීනව දෘඪබල නම් කතුවරයා විසින් එකතු කරන ලද අමතර පරිච්ඡේද දහහතකින් පරිපූරණය කරන ලද අතර, ක්‍රි.ව. 1 වන සියවසේදී පමණ මෙය සිදූවූ බව ඉතිහාසඥයින්ගේ අදහසයි. චරක යන පදය මගින් “සංචාරක විද්වතුන්” හෝ “සංචාරක වෛද්‍යවරුන්” යන්න අර්ථගැන්වේ යන්න තවත් මතයකි. ඒ අනුව චරක-සංහිතාව යනු බොහෝ වෛද්‍යවරුන්ගේ දැනුම එක් කර සකසන ලද ග්‍රන්ථයක් ලෙසද සැලකේ.

චරක ආචාර්යවරයාගේ ඉගැන්වීම් වලට අනුව, සෞඛ්‍යය සහ රෝග පූර්ව නිශ්චය කර නොමැති අතර, මිනිසාගේ උත්සාහය සහ ජීවන රටාව කෙරෙහි අවධානය යොමු කිරීම මගින් ආයු අපේක්ෂාව දිගු කළ හැකිය. භාරතීය සහ ආයුර්වේද ඉගැන්වීම් ක්‍රමයවලට අනුව, රෝග වලට ප්‍රතිකාර කිරීමට වඩා සියලු වර්ගවල රෝග වැළැක්වීම ප්‍රමුඛ ස්ථානයක් ගනී. ස්වභාවධර්මයේ ගමන් මග හා සෘතු හයක් සමඟ සමපාත වන පරිදි ජීවන රටාව සකසා ගැනීම මගින් පුද්ගල සුවතාවය සාක්ෂාත් කල හැකි බව එහි විශ්වාසයයි. ඒ අනුව, චරක “ප්‍රතිකාරයට වඩා වැලැක්වීම හොඳය” යන මූලධර්මයේ මුල්කාලීන යෝජකයෙකු වූ බව පෙනේ. 

පහත ප්‍රකාශය චරකට ආරෝපණය කර ඇත,

දැනුම හා අවබෝධය නමැති පහනෙන් රෝගියෙකුගේ ශරීරයට ඇතුළු වීමට අසමත් වන වෛද්‍යවරයකුට කිසිදා රෝගවලට ප්‍රතිකාර කළ නොහැක. ඔහු මුලින්ම රෝගියාගේ රෝගයට බලපාන පරිසරය ඇතුළු සියලු සාධක අධ්‍යයනය කර පසුව ප්‍රතිකාර නියම කළ යුතුය. ප්‍රතිකාර සෙවීමට වඩා වැදගත් වන්නේ රෝගයක් ඇතිවීම වළක්වා ගැනීමයි.

චරක විසින් චරක – සංහිතාව කොටස් අටකට හෝ අෂ්ටාංග ස්ථාන ලෙස බෙදා ඇත: සූත්‍ර, නිදාන, විමන, ශරීර, ඉන්ද්‍රිය, චිකිත්සා, කල්ප සහ සිද්ධිධියනු ඒවායි. මේ සෑම කොටසකම පරිච්ඡේද කිහිපයක් අඩංගු වේ.

advanced divider

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සහස්‍ර දෙකකට වැඩි කාලයක් පුරා පරිණාමය වී ඇත. ප්‍රතිකාර විධි සඳහා ශාකසාර ඖෂධ, විශේෂ ආහාර, භාවනා, යෝග, සම්බාහන, විරේක, වමනකාරක සහ  විවිධ තෙල් වර්ග ආදී බොහෝ ද්‍රව්‍ය හා ප්‍රයෝග විධි ඇතුළත් වේ. ආයුර්වේද ඖෂධ සංස්කරණ සාමාන්‍යයෙන් සංකීර්ණ ශාකසාර සංයෝග, ඛනිජ සහ ලෝහ ද්‍රව්‍ය මත පදනම් වේ. ඉපැරණි ආයුර්වේද ග්‍රන්ථවල රයිනොප්ලාස්ටි, වකුගඩු ගල් නිස්සාරණය, මැහුම් සහ ආගන්තුක වස්තූන් නිස්සාරණය ඇතුළු ශල්‍ය ක්‍රම ද උගන්වා ඇත.

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content