ශාස්ත්‍රීය කරුණු . . .

  ආයුර්වේදය

  ආයුර්වේදය යනු ආයුෂ පිළිබඳ වේදයයි. ආයුෂ යනු දීර්ඝ ජීවිතය, ජීවන, චිර ජීවන යන අර්ථ දක්වයි. වේදය යනු අයහපත් දෙය ඉවත් කර යහපත් දෙය වැළඳගැනීමට වුවමනා වන දැනුම දෙන උතුම් උපදෙස් පරපුරයි. එනම් ආයුර්වේදය යනු දිගුකලක් ජීවත් වීමට ඉවහල් වන උසස් උපදෙස් මාලාවයි.

   ඕනෑම වෛද්‍ය ශාස්ත්‍රයක පරමාර්ථය වන්නේ ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය සහ රෝග විමර්දනයයි. එහෙත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මීට වඩා පුළුල් පරමාර්ථ දක්වයි. එනම් ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ පුරුෂාර්ථයන් සිදුවන සේ පුද්ගලයාගේ සෞඛ්‍ය සංරක්ෂණය කිරීම සහ රෝග විමර්දනයයි. මෙහි ධර්ම යනු ධර්මානුකූලව ගෙවීමයි. අර්ථ යනු සාධාරණ ආකාරයෙන් ධනය රුස් කිරීමයි. කාම යනු ඉපැයූ ධනයෙන් යහපත් ලෙස ඉන්ද්‍රයන් පිනවීමයි. මෝක්ෂ යනු මෙලොව ජීවිතය සැපවත්ව සතුටින් ගතකර මරණයෙන් මතු සුගතියට යාමයි. මේ අනුව පෙනී යන්නේ ආයුර්වේද දර්ශනය තුල මෙලොව ජීවිතය නීරෝගීව ගත කරන මාර්ගය මෙන්ම පරලොවදී සුගතිය කරා යන මාර්ගයද පැහැදිළි කර ඇති බවයි.   

  ආයුර්වේද දින චර්යා

  දින චර්යා යනු දෛනිකව පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙතකි. මෙහිදී ආයුර්වේදානුකූලව දිනයක් ලෙස සැලකෙන්නේ පෙරදින හිරු උදාවන මොහොතේ සිට පසුදින හිරු උදාවන තෙක් කාල සීමාවයි.

  • උදෑසන අවදිවීම

  දිනපතා අළුයම නිශ්චිත වේලාවකට අවදිවීමට පුරුදු වන්න. මේ සඳහා සුදුසුම වේලාව “බ්‍රහ්ම මුහුර්තයයි“. බ්‍රහ්ම යනු ශ්‍රේෂ්ඨ යන්නත්, මුහුර්ත යනු වේලාව යන්නත් අර්ථ දැක්වේ. ඒ අනුව බ්‍රහ්ම මුහුර්තිය යනු ශ්‍රේෂ්ඨ වේලාවයි. බ්‍රහ්ම මුහුර්තිය ලෙස සැලකෙන්නේ හිරු උදාවට පෙර ඇති විනාඩි 48ක කාලයයි. මෙය වර්තමාන ඔරලෝසු වේලාවෙන් 4.54 හා 5.42 අතරතුර කාලයයි. මෙම කාල සීමාවේදී අවට පරිසරය සන්සුන්ය. පිරිසිදු වාතාශ්‍රයක්ද පවතී. මනසද නිරවුල්ය.

  උදෑසන අවදිවීමේදී ඇතිවන යහපත් ප්‍රතිඵල

  •      නැවුම් පිරිසිදු වාතය ආශ්වාස කිරීමෙන් ගත සිත ප්‍රබෝධමත් වේ.
  •     ලේ පිරිසිදු වේ. හදවත, මොළය සහ ස්නායු පද්ධතිය උත්තේජනය වේ.
  •      ධාරණ හා මතක ශක්තිය දියුණු වේ.
  •      තම එදිනෙදා කටයුතු ක්‍රමවත් කර ගැනීමට හැකි වේ.
  • උණුකර නිවාගත් වතුර වීදුරුවක් පානය කිරීම

 මේ මගින් ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වන අතර මල පිටවීම පහසු කරයි. සෙම බහුල නම් මද උණුසුම් වතුර වීදුරුවක් පානය කරන්න

  • මල මූත්‍රා බැහැර කිරීම

            රාත්‍රී කාලය තුළ ශරීරය තුළ එක්රැස් වූ මල මූත්‍රා උදෑසන අවදි වූ විට බැහැර කළ යුතුය. මෙම ස්වාභාවික අවශ්‍යතාව දැණුනු විගස අතපසු කිරීම නොකළ යුතුය. එම වේග දරා සිටීම නිසා ශරීරයේ ස්වභාවික ක්‍රියාවලියට බාධාවක් සිදු වේ. එය සෞඛ්‍යයට අහිතකරය. එමගින් මලබද්ධය, අර්ශස්, බගන්ධර, මූත්‍රා ගල් සෑදීම සිදුවේ. මේ නිසා උදෑසන අවදි වූ විට මල මූත්‍රා   බැහැර කිරීම ඉතා වැදගත්ය.  ඉන්පසු සබන් යොදා අතපය සෝදාගත යුතුය.

  • දත් හා දිව මැද මුඛය පිරිසිදු කිරීම

            දත් ආහාර ජීර්ණයට ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. ආහාර හොඳින් විකා කෑමට නිරෝගී ශක්තිමත් දත් දෙපලක් අවශ්‍යයයි. එබැවින් දත් සහ මුඛ සෞඛ්‍යය රැක ගැනීම නිරෝගී ජීවිතයකට අත්‍යාවශ්‍යය. ආයුර්වේදයට අනුව දත් මැදීමෙන් අපේක්ෂා කරන්නේ දත් සහ විදුරුමස් සෞඛ්‍ය පමණක් නොවේ. මුඛයේ දුගඳ ඉවත් කිරීම, අනවශ්‍ය සෙම් කොටස් ඉවත් කර මුඛය පිරිසිඳු කිරීම, මුඛයේ ප්‍රසන්න බව, කුසගිනි දැල්වීම, ආහාර රුචිය, සිතේ ප්‍රසන්න බව යන මේවාද ඇති කිරීමය.

         මේ සඳහා ආයුර්වේද ඖෂධ අඩංගු සංයෝගයකින් හා දැහැටි කූරකින් හෝ දත් බුරුසුවකින් දත් මැදීම කළ හැක.

 දැහැටි කූරක් සකසා ගන්නා ආකාරය

  කොහොඹ, කරඳ, පිල, බෝඹු, කිහිරි, මූණමල්, කුඹුක්, එරඬු වැනි ඹෟෂධීය ශාකයක අත්තක් හෝ මුලක් භාවිතා කළ හැක. අඟල් 8“ පමණ දිග සුළැඟිල්ලක් පමණ මහත අතු කැබැල්ලක් කපා ගන්න. එහි එක් කෙළවරක් අඟලක පමණ දිග ප්‍රමාණයක් දතින් හොඳින් සපා කෙඳි වෙන් වන සේ හොඳින් සකස් කරගෙන ඉන් දත් මදින්න. දැහැටි කූරක් දිනපතා සකස් කරගන්නා බැවින් අලුත් වීමෙන් පිරිසිඳු බව රැකෙන අතර, දත් අතර රැඳෙන අපද්‍රව්‍ය ඉවත් කර ගැනීමට පහසු වන නිසාත් ඖෂධීය ගුණය නිසාත් දත් හා විදුරුමස් රෝග අඩු කරයි. 

  දත් මැදීමේදී දතින් දත සිහියෙන් යුතුව මැදීමටත්, මුව සේදීමේදී උඩු ඇන්දේ විදුරුමස් පහළටත්, යටි ඇන්දේ විදුරුමස් ඉහළටත් හොඳින් සෝදා හරින්න. දිවද හොඳින් මැද උගුර සෝදා හැර පිරිසිඳු කර ගත යුතුය. 

 ජීවිතයට යහ මඟට ගෙනෙන විහරණ

  විහරණ යනු පැවතුම්ය. නිරෝගි දිවි පෙවෙතක් ගතකිරීම සඳහා යහපත් පැවතුම් අවශ්‍යය. යහපත් පැවතුම් යනු අහිතකර දේ අත්හැරීම සහ හිතකර දේ අනුගමනය කිරීම පුරුදුවීමය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ පිළිබඳ ඉතා පැහැදිලිව සඳහන් වී ඇත. එම පැවැතුම් සද්වෘත හෙවත් සදාචාර වශයෙන් හා ධර්මචර්යා වශයෙන් හැඳින්වේ.

  සද්වෘත

  • කැස්ස, කිවිසුම්, මල, මුත්‍ර වේග දරා නොසිට පිටකර හැරීම.
  • ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, රාග, ද්වේශ, මෝහ, මද, මාන ආදී මානසික වේග පිට නොකරන්න. ඒවා ඉවසීමෙන් දරා ගත යුතුය.
  • පංචේන්ද්‍රීය, අත්, පා ආදී ඉන්ද්‍රීය සහ අවයව වෙහෙස වන සේ අධික ලෙස ක්‍රියාවේ නොයෙදීම. ඒවා ප්‍රමාණවත් ලෙස ක්‍රියාවේ යෙදවීම. එම ඉන්ද්‍රීයන් වැරදි ලෙස හෝ අඩුවෙන් ක්‍රියාවේ යෙදවීම නොකළ යුතුය.
  • රාත්‍රී නිදිමැරීම, දවල් නිදාගැනීම අත්හල යුතුය.
  • නොකිලිටි, ප්‍රියමනාප ඇඳුම් පරිහරණය කළ යුතුය.
  • අතින් හෝ ලේන්සුවකින් මුව නොවසා කැස්ස, කිවිසුම්, ඈනුම් ඇරීම නොකරන්න
  • ඉඳීම, සිටගෙන සිටීම, ඇවිදීම, නැවීම, නිදාගැනීම ආදී ක්‍රියාවන්හිදී නිවැරදි ඉරියව් භාවිතා කළ යුතුය.
  • දීප්තිමත් හිරු හෝ වෙනත් එවැනි ආලෝක දෙස එක එල්ලේ නොබැලිය යුතුය.
  • මධ්‍ය පාන, ධූම පාන නොකළ යුතුය.
  • කෘතීම කෑම නොකෑ යුතුය.
  • ආහාර ගත් විගස වෙහෙසීමත්, නින්දට යාමත් අත්හල යුතුය.
  • ආහාර ගත් විගස ජලය අධික ලෙස පානය නොකළ යුතුය.

  ධර්මචර්යා

 ජීවිතය සැපවත් වීමට මනසේ සන්සුන්බව හා සතුට ලබාගත යුතුය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් කර ඇති ධර්මචර්යා මඟින් මෙම මානසික සෞඛ්‍ය රැක ගත හැකිය. ධර්ම චර්යා යනු සිත, කය, වචනය යන තුන් දොර හික්මවා ගැනීමයි.

  • ප්‍රාණඝාතයෙන් වැළකීම.
  • සොරකම් කිරීමෙන් වැළකීම.
  • කාමයේ වරදවා නොහැසිරීම.
  • කේලම්, පරුෂ වචන, බොරු ප්‍රලාප නොකිරීම.
  • හිංසාවෙන් වැළකීම.
  • අනුන්ගේ ගුණ ඉවසීම.
  • ලෝභ නොකිරීම.
  • දේවතා, ගුරු, වැඩිහිටි ආදිනට පරිභව නොකිරීම.
  • පිදිය යුත්තන් පිදීම.
  • සැපතේදීත් විපතේදීත් සම සිතින් සිටීම.
  • සත්‍යට ගරු කිරීම හා සත්‍ය කතා කිරීම.
  • කළණ මිතුරන් ඇසුර.
  • මධ්‍යම ප්‍රතිපදාවට අනුව කටයුතු කිරීම.
  • දයාව හා කරුණාව පෙරදැරිව ජීවත්වීම.
  • ප්‍රසන්න ප්‍රියකරු මුහුණින් සිටීම.

    මෙම වැරදි ආහාර පුරුදු වලින් අත් මිදෙන්න.

  • නියමිත ප්‍රමාණයට වඩා අධිකව ආහාර නොගන්න (Over Eating)
  • ඉතා වේගයෙන් හෝ ඉතා සෙමින් ආහාර නොගන්න.
  • බර ආහාර (Heavy meals) වැඩිපුර නොගන්න.
  • අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා අඩුවෙන් ආහාර නොගන්න.
  • කුසගිනි නොමැති අවස්ථාවන්හී ආහාර ගැනීමෙන් වලකින්න.
  • මුලින් ගත් ආහාර හොදින් දිරවීමට පෙර නැවතත් ආහාර නොගන්න.
  • ආහාර ගැනීමේදී අධිකව ජලය පානය නොකරන්න.
  • සිත පිනවීම සඳහා ආහාර ගැනීමෙන් වලකින්න.
  • එකිනෙකට විරුද්ධ ගුණ සහිත ආහාර වර්ග එක්ව ගැනීමෙන් වලකින්න.
  • මල මුත්‍රාදී වේග දරා සිටින අවස්ථාවල ආහාර ගැනීමෙන් වලකින්න.
  • ඉතා රළු වියළි ස්වභාවයෙන් යුතු ආහාර වර්ග අධිකව නොගන්න.

    මෙම නිවැරදි ආහාර පුරුදුවලට යොමුවන්න.

  • කුසගින්න ඇති අවස්ථාවන්හී පමණක් ආහාර ගන්න.
  • මුලින් ගත් ආහාරය දිරවා සිරුරට සැහැල්ලු දැනෙන අවස්ථාවන්හී පමණක් ආහාර ගන්න.
  • බර ආහාර ඉතා අඩුවෙන් ද පැහැල්ලු ආහාර මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ද අනුභව කරන්න.
  • ආහාර ගැනීමේදී අවධානය එයට යොමු කරන්න.
  • ආහාර හොඳින් විකා ගිලීම සිදුකරන්න. 
  • මිහිර රස / ඇඹුල් රස / ලුණු රස / කටුක රස / තිත්ත රස හා කසාය යන රස වර්ග වලින් යුතු ආහාර වර්ග දෛනිකව ආහාර වේලට එකතු කර ගැනීමට උත්සහ ගන්න.
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content